ලංගම සේවකයින් සටන්වලට නොදමන්නැයි ඉල්ලීමක්

ලංගම සේවකයින් සටන්වලට නොදමන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංගම සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ග වලට පොළඹවන්නේ නැතිව ශ්‍රී ලංගමය ශක්තිමත් කිරීමට,සේවක අයිතීන් සුරක්ෂිත කිරීමට 2023 අයවැය ලේඛනය තුළින් ප්‍රවාහන අමාත්‍යංශය යටතේම ශ්‍රී ලංගමයට පුනරාවර්ථන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් මිලියන 16 000 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ශ්‍රී ලංගම සේවකයින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමටත්, මගී ජනතාවට විධිමත් ප්‍රවාහන සේවයක් ලබාදීමටත් ශ්‍රී ලංගමය ශක්තිමත් කිරීමටත් 2023 වසර සඳහා ප්‍රවාහන අමාත්‍යංශය යටතේම ශ්‍රී ලංගමයට රුපියල් මිලියන 16 000 ක මූල්‍ය ප්‍රතිපාදන 2023 අයවැය ලේඛනය තුලින් ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස පළමුව අප සංගමය ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

විධිමත්ව නියමිත දිනට සේවක වැටුප් සහ පාරිතෝෂික මුදල් ගෙවීමට, සේවක වැටුප් වැඩි කිරීමට, පාසල් ළමයි ඇතුළු වැඩකරන ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංගමය ආයතනවලට ගෙවීමට ඇති ණය මුදල් ගෙවීමට, සේවක අර්ථසාධක අරමුදල් විධිමත්ව අඛණ්ඩව බැංකුගත කිරීමට පුනරාවර්ථන වියදම් වශයෙන් රුපියල් මිලියන 14 000 ක මුල්‍ය ප්‍රතිපාදන ද,

2006 අංක 30 දරණ සහ 2016 අංක 02 දරණ කළමණාකාර සේවා චක්‍රලේඛණයට අනුව සියලූම ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලවල හා නිලධාරීන්ගේ 2018.10.01 දින සිට හිඟ වැටුප් සමඟ වැටුප් සංශෝධනය කිරීමට, නව බස්රථ ලබාගැනීමට, ශ්‍රී ලංගමයේ කාර්මික අංශයට නවීන තාක්ෂණ උපකරණ ලබාගැනීමට, දැනට අඩාල වී ඇති සේවක සුභසාධක ක්‍රියාවලිය විධිමත්ව පවත්වා ගැනීමට, සියලූම ඩිපෝ වැඩපළවල්, ආයතනවල අළුත්වැඩියා කර සංවර්ධනය කිරීමට, පරිගණක තාක්ෂණය වැඩි කිරීමට යන ඉල්ලීම් ඉටු කිරීමට ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් මිලියන 2,000 ක මූල්‍ය ප්‍රතිපාදන ද ඇතුළු රුපියල් මිලියන 16 000 ක මූල්‍ය ප්‍රතිපාදන ප්‍රවාහන අමාත්‍යංශය යටතේම 2023 අයවැය ලේඛනය තුළින් ශ්‍රී ලංගමයට ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඔබතුමාගෙන් අප සංගමය ඉල්ලා සිටින්නෙමු. ප්‍රවාහන අමාත්‍යංශය යටතේම අයවැය ලේඛනය තුළින් වෙනමම ශ්‍රී ලංගමයට මුදල් වෙන්කරන ලෙස අප සංගමය 2018 වසරේ සිට සෑම අයවැය ලේඛනයක් තුලින්ම දිගින් දිගටම ඉල්ලා සිටියද එය මෙතෙක් සිදුවී නොමැති අතර අදාල පිළිතුරු ලිපි මේ සමඟ අමුණා ඇත.

ජනාධිපතිතුමනි, ශ්‍රී ලංගමයේ අනන්‍යතාවය සහ ආත්ම අභිමානය රැකගැනීමට ප්‍රවාහන අමාත්‍යංශය යටතේම අයවැය ලේඛන තුලින් මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස අප සංගමය දිගින් දිගටම ඉල්ලා සිටියද එය මෙතෙක් සිදුවී නොමැති බව ඔබතුමාට දන්වා සිටින අතර 2023 ශ්‍රී ලංගමයට අයවැය තුළින් ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන ප්‍රවාහන අමාත්‍යංශය යටතේම ලබාදීමට මැදිහත් වන ලෙස ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.