විභාග රාජකාරි දීමනා තවමත් ගුරු-විදුහල්පතිවරුන්ට ගෙවා නෑ

විභාග රාජකාරි දීමනා තවමත් ගුරු-විදුහල්පතිවරුන්ට ගෙවා නෑ

පසුගිය විභාග රාජකාරි වෙනුවෙන් ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් මිලියන 600 ක පමණ මුදලක් තවදුරටත් ගෙවීමට ඇති අතර, වහා එම මුදල් ගෙවිය යුතු බව ලංකා ගුරු සංගමය තවදුරටත් දැඩිව අවධාරණය කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ, 2022 අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් සඳහා ඉල්ලුම් කිරීමේ දිනය 2022.11.04 දින දක්වා දීර්ඝ කළ අතර, එය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව ඇත. එහෙත් පසුගිය අපොස උසස්පෙළ හා අපොස සාමාන්‍ය පෙළ විභාගවල රාජකාරි වෙනුවෙන් ගුරු විදුහල්පතිවරුන්ට ගෙවිය යුතු මුදල් තවමත් ගෙවා අවසන් කොට නැත.

එම තත්ත්වය තුළ අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු සඳහා ඉල්ලුම් කිරීමේ දිනය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සමග ලංකා ගුරු සංගමය කළ සාකච්ඡාවේදී අනාවරණය විය.

පසුගිය විභාග රාජකාරි වෙනුවෙන් ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් මිලියන 600 ක පමණ මුදලක් තවදුරටත් ගෙවීමට ඇති අතර, වහා එම මුදල් ගෙවිය යුතු බව ලංකා ගුරු සංගමය තවදුරටත් දැඩිව අවධාරණය කර සිටී.

පැවති විභාගවල ප්‍රතිඵල ද මේ වන විට නිකුත් කර ඇති අතර, පිළිතුරු පත් ඇගයීමේ රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවා 2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු වෙනුවෙන් ද අයඳුම්පත් කැඳවීම සිදු කරන ලදී. පැවති දැඩි ප්‍රවාහන අපහසුතා මධ්‍යයේ තම වියදමින් විභාග රාජකාරිවල නිරත වූ ගුරු විදුහල්පතිවරු අදාළ දීමනා නොලැබීමෙන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින අතර, ඔවුන්ගේ ගෙවීම් සියල්ල සම්පූර්ණ කරන තුරු ඒ වෙනුවෙන් ලංකා ගුරු සංගමය අඛණ්ඩව මැදිහත් වන අතර, කඩිනමින් සියලු දීමනා ගෙවා අවසන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් දැඩිව ඉල්ලා සිටී.