ගම්පහ දුම්රිය ස්ථානයේ වැසිකිළියක් ඉදිකිරීම පිටුපස මුදල් වංචාවක්

ගම්පහ දුම්රිය ස්ථානයේ වැසිකිළියක් ඉදිකිරීම පිටුපස මුදල් වංචාවක්

ජාවාරම්කරායින්ගේ මනදොල පිනවීම සඳහා ජනතාවගේ මුදල් ගසාකන ගම්පහ දුම්රිය ස්ථානයේ වැසිකිළියක් ඉදිකිරීම පිටුපස ඇති ජාවාරම් නතර කරන ලෙස ද ඉල්ලා සිටිමින් සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ගම්පහ දුම්රිය ස්ථානයේ නව වැසිකිළික් ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් භාරදී ඇති අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි අසූ ලක්‍ෂ අසු එක් දහස් හයසිය පහලොවයි ශත හතරක (18081615.04) මුදලක් වැය කිරීමට නියමිතව ඇත.

සැලසුමට අනුව, කාන්තා හා පිරිමි වැසිකිළි දෙකකින් සමන්විත තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් වන මෙහි, වර්ග ප්‍රමාණය වර්ග අඩි 594 කි. ඒ අනුව එක් වර්ග අඩියක් සඳහා රුපියල් 30440/= මුදලක් වැය කිරීමට නියමිතය. ආරම්භයේදී ඇස්තමේන්තුගත වියදම මෙය වුවත්, වෙළඳපොලේ භාණ්ඩ මිළ උච්ඡාවචනය අනුව ව්‍යාපෘතිය අවසන් වන විට මෙම වියදම දෙගුණයක් හෝ තුන් ගුණයක් විය හැකිය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි අංශය විසින් වග දුම්රිය ස්ථානයේ, දුම්රිය රියදුරු සහ රියදුරු සහායක ශ්‍රේණි සඳහා ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලේ ඇස්තමේන්තුගත වියදම රුපියල් හැත්තෑහතර ලක්‍ෂ අනූ එක් දහස් පන්සිය හතලිස් නවයයි ශත දහඅට (7491549.18) කි. එහි වර්ග අඩි ප්‍රමානය 2212 කි. එම ගොඩනැගිල්ලේද නානකාමර, වැසිකිළි ඇතුළු සියළු පහසුකම් ඇත. එහි වර්ග අඩියක් සඳහා දෙපාර්තමේන්තුව වැයකර ඇත්තේ රුපියල් 3386.77 කි.

මෙම ඉදිකිරීම් දෙකම 2021 වර්ෂයේ සැලසුම් කර ඇති අතර, කොන්ත්‍රාත්කරුවෙකු යොදාගෙන ගම්පහ දුම්රිය ස්ථානයේ ඉදිකරන වැසිකිළිය සඳහා මෙපමණ මුදලක් වැය කිරිම තුල මූල්‍ය වංචවක් සිදුවන බව බැලූ බැල්මටම පෙනෙන කරුණකි.

විශාල මගී ගණත්වයක් සහිත ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන ගම්පහ දුම්රිය ස්ථානයේ ක්‍රමවත් වැසිකිළි පද්ධතියක් අත්‍යාවශ්‍ය බව අවධාරණය කරන අතර, එම අවශ්‍යතාව පෙන්වා ජනතාවගේ මුදල් නාස්ති කිරීමට හෝ වංචා කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. දුම්රිය දෙපාර්තමේන්තුව පිටරටකින් ණයට ගෙන හෝ වියදම් කළද එම මුදල් රටේ ජනතාවගේ මුදල් වන බැවින්, දැඩි මූල්‍ය අර්බුදයකට රට පත්වී ඇති අවස්ථාවක මෙවැනි නාස්තිකාර වියදම් නතර කළයුතු බව පෙන්වා දෙමු.

03/2022 හා 2022. 04. 26 දිනැති ජාතික අය-වැය චක්‍රලේඛය මගින් ගොඩනැගිලි ඉදිකිරීම හා කුලියට ගැනීම, අළුතින් ආරම්භකර ඇති හා ආරම්භ කිරීමට නියමිත අළුත් ව්‍යපෘති හා කොන්ත්‍රාත්, සියල්ල නතරකර තිබියදීත්, ගම්පහ දුම්රිය ස්ථානයේ වැසිකිළිය වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වැය කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. පවතින මූල්‍ය දුෂ්කරතා නිසා, දුම්රිය මාර්ග, දුම්රිය එන්ජින්, දුම්රිය මැදිරි මෙන්ම දුම්රිය සේවකයින්ගේ නිවාස පවා අළුත්වැඩියා කිරීමට නොහැකි තත්වයක් හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුව දැඩි කඩා වැටීමකට ලක්වී ඇත.

මෙවැනි තත්වයක් හමුවේ ජාවාරම්කරායින්ගේ මනදොල පිනවීම සඳහා ජනතාවගේ මුදල් ගසාකන ව්‍යාපෘතින් වහාම නතර කළයුතු බව අවධාරණයෙන් පෙන්වා දෙන අතර, ගම්පහ දුම්රිය ස්ථානයේ වැසිකිළියක් ඉදිකිරීම පිටුපස ඇති ජාවාරම් නතර කරන ලෙස ද ඉල්ලා සිටිමු.