ලංකා කම්කරු කොංග්‍රසය ආණ්ඩුවට එක්වන ලකුණු ?

ලංකා කම්කරු කොංග්‍රසය ආණ්ඩුවට එක්වන ලකුණු ?

වතු කම්කරු ප්‍රජාව නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය රජය සමඟ එක් වීමට කැමැත්ත පළ කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් ප්‍රකාශ කර ඇත්තේ, කැබිනට් අමාත්‍ය ධුරයක් භාර ගැනීමට තම පක්ෂය කැමැත්ත පළ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දන්වා ඇති බව යි.

කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රසයට පිරිනමනු ලබන අමාත්‍ය ධුරය මත රජයට එක් වීම තීරණය වන බව යි ජීවන් තොණ්ඩමන් කියා ඇත.

ලංකා කම්කරු කොංග්‍රසය ප්‍රධාන වශයෙන් නියෝජනය කරන්නේ, ඉන්දීය සම්භවයක් ඇති උඩරට වතු කම්කරු දෙමළ ජනතාව වන අතර උඩරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැකි වනු ඇතැ යි තම පක්ෂයට හැඟෙන බව තොණ්ඩමන් පවසා තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ප්‍රමුඛ රජයක් තුළ කටයුතු කරන්නේ දැ යි විමසූ විට ජීවන් තොණ්ඩමන් කියා ඇත්තේ, එවැනි හැකියාවක් තිබිය නො හැකි බව යි.

මහින්ද රාජපක්ෂට තමන් ගරු කරන අතර ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර දේශපාලන සම්බන්ධය මේ වන විට අවසන් වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.