රාජ්‍ය සේවයේ තවත් පත්වීම් 4000ක් දෙන්න සූදානමක්

රාජ්‍ය සේවයේ තවත් පත්වීම් 4000ක් දෙන්න සූදානමක්

විදුහල්පතිවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනට පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කළ සැණින් 4,000කට අධික විදුහල්පතිවරුන් පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කර තිබේ.

විදුහල්පති තරග විභාගය කඩිනමින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව කැඳවා තමන් සාකච්ඡාවක් පැවැත්වූ බවද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

එසේම සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගත් රාජ්‍ය සේවකයින් 26,000ක් එළඹෙන ජනවාරි මස සිට ගුරු සේවයට එක් කර ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව 2018, 2019, 2020, 2021 වසරවල දී සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලැබූ උපාධිධාරින්ට දීප ව්‍යාප්ත වශයෙන් පොදු විභාගයක් පවත්වා මෙම බඳවා ගැනීම් සිදු කරන බවද ඇමැතිවරයා පැවසීය.

දෙසැම්බර් මාසයේ මැද වන විට මීට අදාළ විභාගය පවත්වන බවද ඇමැතිවරයා පැවසීය.

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මෙසේද පැවසීය.

"අපගේ පාසල් පද්ධතියට විදුහල්පතිවරුන් 16000ක් අවශ්‍යයි. නමුත් අදටත් ඉන්නේ 12000යි. වැඩ බැලීමේ පදනම යටතේ අවුරුදු පහ දහය සිටි 2682ක් වන විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නයක් තිබුණා. ඊට අමතරව විදුහල්පතිවරුන් සඳහා ගුරුවරුන් අතරින් තෝරාපත් කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඇතැම් අය ලකුණු ලබා ගෙන තිබුණා. නමුත් සම්මුඛ පරීක්ෂණය අසමත් වී තිබුණා. 169 දෙනකු හිතාමතා අසමත් කළ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් පනවා තිබුණා, විදුහල්පති පත්වීම් දෙන්න බැහැ, මේ නඩුව අවසන් වන තෙක් කියලා. ඒ නිසා මීට අදාළ සියලු පාර්ශ්ව මම අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කළා. එය දැන් නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. ඉතා ඉක්මනින් මීට අදාළ ක්‍රියාවලිය අවසන් වෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දැනට ක්‍රමවේදයක් යෝජනා කර තිබෙනවා. 2682යි අනිත් 1700යි තව 200ක් විතර ඉන්නවා. මගේ ඉලක්කය තමයි මේ නඩුව සමථයකට පත්වීම මත දෙසැම්බර් 31 වගේ වෙනකොට මේ සියලු දෙනාට විදුහල්පති පත්වීම් ලබා දීම. ඊට අමතරව විදුහල්පති විභාගය පැවැත්වීමට අදාළ කටයුතුත් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම එය පැවැත්වූපසුත් අදාළ පත්වීම් ටික දෙන්න පුළුවන්. පාසල් වාරය අවසන් වන්නේ මාර්තු මාසයේ අග. අධිකරණයේ මෙය සමථයකට පත්වීම මත දෙසැම්බර් 31 වෙනකොට විදුහල්පති පත්වීම් 4000ක් පමණ ලබා දීමට කටයුතු කරනවා."