ගෘහස්ථ සේවකයන් සඳහා යහපත් රැකියා කොන්දේසි ලබා දෙනු -ප්‍රොටෙක්ට් සංගමයෙන් ඉල්ලීමක්

 ගෘහස්ථ සේවකයන් සඳහා යහපත් රැකියා කොන්දේසි ලබා දෙනු -ප්‍රොටෙක්ට් සංගමයෙන් ඉල්ලීමක්

ගෘහස්ථ සේවකයන් සඳහා යහපත් රැකියා කොන්දේසි දිනා ගැනීමට සහ කම්කරු නීති ආවරණය ලබා ගැනීමට අද දින ප්‍රොටෙක්ට් සංගමයේ සාමාජිකයන් සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්චාවක් පැවැත්වුණා. හිටපු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ කම්කරු කොමසාරිස් ජනරාල්තුමා ඇතුළු පිරිසක් සමග 2021 අගෝස්තු 10 දින කම්කරු අමාත්‍යංශයේදී පැවති සාකච්චාවේදී ගෘහ සේවකයන් ජාතික අවම වේතන පනතට ඇතුළත් කිරීම, EPF, ETF ඇතුළු සමාජාරක්ෂණ පනත් ගෘහ සේවකයන්ටත් අදාළ වන පරිදි සංශෝධනය සහ ගෘහ සේවකයන් සඳහා පඩි පාලක සභාවක් ඇති කිරීමට එකඟ විය. ඊට අදාළ සංශෝධන කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සිදු කර 2021 වසර අවසන් වීමට ප්‍රථම එම නීති සම්පාදනය කරන බව අමාත්‍යවරයා පැවසුවද 2022 වසරද අවසන් වී ඇති නමුත් එය සිදු කර නැත. අද දින අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් තුමියගෙන් ප්‍රොටෙක්ට් සංගමයේ සාමාජිකයන් අසා සිටියේ කම්කරු දෙපාර්තමේන්තුව  මේ වන විට අදාළ කම්කරු නීති සකස් කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්නයි. නමුත් අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් තුමිය ප්‍රකාශ කර සිටියේ අදාළ නීති සංශෝධන සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් කම්කරු අමාත්‍යංශය සමග සාකච්චා කරමින් සිටින බවත්, තවමත් එම සාකච්චා අවසන් නොමැති බවත්ය.

කම්කරු දෙපාර්තමේන්තුවේ සාකච්චාවෙන් අනතුරුව ප්‍රොටෙක්ට් සංගමයේ සාමාජිකයන් කම්කරු අමාත්‍යවරයා සමග සාකච්චාවක් ඉල්ලා කම්කරු අමාත්‍යංශය වෙත ලිපියක් භාර දෙන ලදී.  

1

2