වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම අනීතික ක්‍රියාවක් - ලංකා බැංකු සේවක සංගමය

වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම අනීතික ක්‍රියාවක් - ලංකා බැංකු සේවක සංගමය

වෛද්‍ය චමල් සංජීව සහෝදරයා වැඩ තහනම් කිරීම භාෂණයේ නිදහසට හා වෘත්තීය සමිති අයිතිවාසිකම් වලට එල්ල කරන ලද මරු පහරක් බවත්, සියලු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධව සිදුවූ අනීතික ක්‍රියාවට එරෙහිව එකට සිට ගනිමන් ඔහුට සාධාරණය ඉටුකර ගැනීමට පෙළගැසෙන බව තරයේ ප්‍රකාශ කර සිටින බව ලංකා බැංකු සේවක සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මූලික මිනිස් අයිතිවාසිකමක් වන භාෂණයේ නිදහස සූක්‍ෂම ආකාරයෙන් වර්තමාන ආණ්ඩුව විසින් කප්පාදු කරමින් සිටින බවට ආසන්නතම උදාහරණය ලෙස වෛද්‍ය චමල් සංජිව සහෝදරයාගේ වැඩ තහනමින් පසක් වේ.

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සහෝදරයා මේ වනවිට වැඩ තහනමකට ලක්ව ඇත. එයට හේතුව ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනුයේ සූරියවැව ප්‍රදේශයේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයකි.

වසර 74 ක අදූරදර්ශි පාලකයන් විසින් අද වනවිට අප රට බංකොලොත් රාජ්‍යයක් බවට පත්කර ඇත. උද්ධමනය ප්‍රවේගකාරීව ඉහළ යමින් පවති. අහාර ද්‍රව්‍යවල හිඟවීමක් රට පුරා දක්නට ඇත. අඩු ආදායම්ලාභීන්ට එදිනෙදා අවශ්‍ය අවම ආහාර වේලවත් සපුරා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කරන්නේ ලංකාවේ ළමා මන්දපෝෂණය ඉතා සීග්‍රයෙන් ඉහළ යන බවයි.

මෙවැනි තත්වයක් තුළ අති දුෂ්කර ප්‍රදේශවලට ගොස් තොරතුරු සොයාබලා ජනතාවට වාර්තා කිරීම වෘත්තීය සමිති නායකයෙකුගේ වගකීමක් බව අපගේ විශ්වාසයයි. එවන් පසුබිමක් තුළ වෛද්‍ය චමල් සංජීව සහෝදරයා වැඩ තහනම් කිරීම භාෂණයේ නිදහසට හා වෘත්තීය සමිති අයිතිවාසිකම් වලට එල්ල කරන ලද මරු පහරක් බව අප අවධාරණය කර සිටිමු.

මෙම වැඩ තහනම් කිරීම පිළිබඳව අප සංගමයේ දැඩි විරෝධතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන්ට, ඇමතිවරයා හා ආන්ඩුවට ප්‍රකාශකර සිටින අතර, සියලු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධව සිදුවූ අනීතික ක්‍රියාවට එරෙහිව එකට සිට ගනිමන් වෛද්‍ය චමල් සංජීව සහෝදරයාට සාධාරණය ඉටුකර ගැනීමට පෙළගැසෙන බව තරයේ ප්‍රකාශ කර සිටිමු.

සබැඳි පුවත්