ඊ.පී.එෆ් කෝටි ගාණක් වතුරේ

ඊ.පී.එෆ් කෝටි ගාණක් වතුරේ

සේවක අර්ථසාධක අරමුදලේ  රුපියල් කෝටි 20 ක ට වැඩි මුදලක් ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය පසුගිය වසරේදී අවලංගු කිරීම හේතුවෙන් අහිමිවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

එසේම ලයිස්තු ගත නොවූ සමාගම් වල කොටස් ආයෝජනයන් රුපියල් කෝටි 500ක් (සියයට 56ක් ) 2013 වර්ෂයේ වර්ෂයේදී කැන්විල් හෝල්ඩින්ග්ස්   හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා  ආයෝජනය කර තිබූ නමුත් 2021 වර්ෂය අවසාන වන විටත් එහි ව්‍යාපාර කටයුතු ආරම්භ කර නොතිබූ  හෙයින් එම ආයෝජන සඳහා කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබූ බවද  විගණන  වාර්තාවක සඳහන් වේ.

මේ අතර සේවක අර්ථසාධක  අරමුදලේ සාමාජිකයන් වෙනුවෙන් සකස් කෙරුණු හැඳුනුම්පත් 15,000 ක් සහ ඇඟිලි සලකුණ ලියාපදිංචි කිරීම සඳහා මිලදීගත්  යන්ත්‍ර තිහක්  ප්‍රයෝජනයට නොගෙන ගබඩාවල තැබීමෙන් රුපියල් කෝටි තුනකට ආසන්න  පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා 2008 වර්ෂයේදී රුපියල් එක්කෝටි විසි හය ලක්ෂයකට වැඩි මුදලක් වැය කර සකස් කරන ලද කාඩ්පත් පහළොස් දාහක්  පරිගණක අංශය තුළ  පැවතුණ අතර  ඒවා සකස්  කළ දින සිට ම ප්‍රයෝජනයට නොගැනීමෙන්  එම මුළු වියදමම අරමුදලට අලාභයක්වූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

එසේම හැඳුනුම්පත වෙනුවට සාමාජිකයාගේ ඇඟිලි සලකුණ භාවිතයෙන් ශේෂය පිරික්සීම සඳහා 2015 වර්ෂයේ දී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර යන්ත්‍ර  30 ක්  මිලදී ගෙන තිබූ අතර  එම ව්‍යාපෘතිය ද සාර්ථකව ක්‍රියාත්මක නොවූ බව විගණන  අංශ අනාවරණය කළේය.

මින්   යන්ත්‍ර  දහතුනක් 2019 වර්ෂයේ මාර්තු පළවෙනිදා වන විට අක්‍රීයව භාවිතයෙන් ඉවත්  කිරීමෙන් පසු යන්ත්‍ර 30 අපහරණය කිරීමට තීරණය කර තිබුණද  පසුගිය වසරේ අප්‍රේල් මාසය වන විටත් අදාල යන්ත්‍ර ප්‍රධාන කාර්‍යාලයට ගෙන්වා ගෙන නොතිබුණු බව පවසන  විගණන  නිලධාරීහු එම ව්‍යාපෘතිය අසාර්ථක වීමෙන් එහි සමස්ත පිරිවැයම අරමුදලට අලාභයක් වූ බව ප්‍රකාශ කරති.

මේ අතර අරමුදල විසින් ලයිස්තුගත සමාගම් 83ක  රුපියල් කෝටි අටදහස්තුන්සිය හතළිස් හයක්   ආයෝජනය කර තිබුණද පසුගිය වර්ෂයේ දෙසැම්බර් 31 වන දින වන විට එම ආයෝජන වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි හත් දහස් අසූවක් දක්වා  රුපියල් කෝටි 1265 කින් එනම් සියයට 15 කින් පහත වැටී තිබූ බව  විගණන  කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන  වාර්තාවේය.

(ලංකාදීප)