රාජ්‍ය සේවකයින්ගේ කාර්යසාධනය මනින්න සූදානම්

රාජ්‍ය සේවකයින්ගේ කාර්යසාධනය මනින්න සූදානම්
රජයේ ආයතනයන්හි කාර්ය සාධනය මැන බැලීම සඳහා KPI දර්ශකය (Key Performance Indicators) හඳුන්වා දීමට ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුව තීරණය කර තිබේ. 
 
රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය සඳහා මිනුම් දඩු සකස් කිරීම මඟින් රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවයක් බවට පත් කර ගැනීමට ඇති හැකියාව මෙම කමිටුවේදී සාකච්ඡා වී ඇත.
 
පරිපාලන සේවය ඇතුළු අනෙකුත් දීපව්‍යාප්ත සියලු සේවාවන් එක්වී මේ පිළිබඳව ඉදිරි සතියේ සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
 
ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.