දේශීය ඖෂධ සමාගම් වැරදි පීල්ලක ගමන් කරන්නේ අදිසි හස්තයන් ක්‍රියාත්මක වීම නිසා බව තහවුරු වේ

දේශීය ඖෂධ සමාගම් වැරදි පීල්ලක ගමන් කරන්නේ අදිසි හස්තයන් ක්‍රියාත්මක වීම නිසා බව තහවුරු වේ
  • තත්ත්ව ස්ථාවරත්වය තහවුරු නොකල ඖෂධයක් නිෂ්පාදනයට, නියාමන අධිකාරිය අවසර දීලා.
  • 2023 අප්‍රේල් වෙනතුරු දිය නොහැකි ඖෂධ අවසරය, 2022 නොවැම්බර් වලටත් කලින්ම දීලා.
  • ඖෂධ සදහා අදහාගත නොහැකි මිල ගණන් ඉදිරිපත් කරන සමාගමක්, වැරදී පීල්ලේ යන්නේ බලධාරීන්ගේ මග පෙන්වීමෙන්.

ඖෂධයක් නිශ්පාදනයට අදාල නිදර්ශක නිශ්පාදිතය (Trail Bstch) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එය රෝගීන් සදහා ලබාදීමට සුදුසු වන්නේද යන්න තහවුරු කිරීම සදහා අනිවාර්යෙන්ම අනුගමනය කල යුතු යාන්ත්‍රණයක් පවතින අතර, එකී ඖෂධය නිශ්පාදනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිය හැක්කේ ඉන් අනතුරුවය. මේ සදහා අවම වශයෙන් මාස 7ක කාලයක් ගතවන අතර, අධිකාරී පනතේ නීතියට අනූව, ස්ථාවරත්ව පරීක්ෂණය  (Stability Test) සදහා මාස හයක කාල සීමාවක් සහ  ජීවානුහරණ පරීක්ෂණය (Sterility Test) සදහා සති දෙකක කාලයක් ඒ සදහා ගත කලයුතු වෙනවා.

නමුත් මේ වන විට ඖෂධ අටක් නිශ්පාදනය සදහා අවසරය ලබා දී ඇති සමාගමකට අදාලව, එම නිර්මිතයන් අනුගමනයකරනොමැති බැවින්, එය ඉදිරියේදී ඖෂධවල ගුණාතමක බව පිළිබදව බරපතල ගැටලුවක් බවට පත්වීම නොවැලැක්විය  හැකියි. එසේම එය, දේශීය ඖෂධ නිශ්පාදනවල ගුණාත්මක බව පිළිබඳ සැකයක් මතු කරවන බැවින්, සමස්ථ දේශීය ඖෂධ නිශ්පාදනයටම එරෙහි බාධාවකි.

මේවන විට අධිකාරිය විසින් අවසරය ලබා දි ඇති Diazepam, Ephedrine, Tranexamic Acid, Katamine, Phenytoin, Thiamine, Verapamil, නැමති එන්නත් අට සදහා අධිකාරිය විසින් නිශ්පාදන අවසරය ලබා දී තිබුණද, ඒ සදහා මූලික නිදර්ශක ඉදිරිපත් කර ඇත්තේ 2022 සැප්තැම්බර් මාසයේදී බව තහවුරු වේ. ඒ අනූව 2023 අප්‍රෙල් මාසය වනතුරු එම එන්නත්  තත්වපාළණ අවධියේ තැබිය යුතු නමුත්, එම තත්වපාළණ චක්‍රය නොසලකා හැර නිශ්පාදන අවසරය ලබා දීම සැක කටයුතු වංචනික තීරණයක් මෙන්ම, නිශ්පාදිතයේ ගුණාතමක බව පිළිබද ගැටළුවකි.

මේ වනවිට ඖෂධ සංස්ථාව රජයේ බැංකු දෙකකින් ලබාගත් රුපියල් කෝටි 1,600ක ණය අයිරාව ගෙවිය නොහැකි තත්වයකට පත්ව ඇත. මිල දී ගත් ඖෂධ සඳහා සැපයුම්කරුවන්ට ගෙවීමට තිබෙන රුපියල් කෝටි 1,000ක හිඟ මුදලක් ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර ප්‍රතික්‍රීයක සදහා පමණක් බිලියන 5කට වැඩි ණය මුදලක් සමග සමාගම් සදහා සමස්ත ණය බිලියන 20 ඉක්මවා ඇත. මේ සියල්ලට අදාලව ඖෂධ හා ප්‍රතික්‍රීයක  නිශ්පාදනය සහ අපනයනය අපට ඇති ස්ථාවරම උත්තරයයි. එබැවින් දේශීය ඖෂධ නිශ්පාදනයේ තත්වය බාල කරවීමේ, හෝ එවන් විවේචනයන් ඇතිවීමේ ප්‍රවණතාවයන් වලක්වා ගත යුතුය.

නමුත් දිගින් දිගටම ඉහත සමාගම වැරදි පීල්ලක ගමන් සදහා කිසියම අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බොහෝ කරුණු වලින් තහවුරු වේ 

රුපියල් 2000/- පැවති Esemolol නැමති එන්නත, රු 90,000/-ට ලංසු තැබීමක් පිළිබදවත්, රුපියල් 650/-ට තිබූ Triptocomite එන්නත රුපියල් ලක්ෂයකට වඩා වැඩි මිලකට මිලදී ගැනීමක් පිළිබදවත්, රුපියල් 250/- ට පැවති Papaverine Hydrochloride එන්නත, රු 40 000/- කට පමණ මිලදී ගැනීමක් පිළිබදව හා විවිධ අදහාගත නොහැකි ලංසු තැබීම් පිළිබදව පසුගිය කාලය පුරා කථාබහට ලක්වී ඇත්තේද මෙම සමාගම බව නිරික්ෂණය වන බැවින් ඔවුන්ව වැරදි පීල්ලක ගෙනයන අදිසි හස්තය පිළිබදවද සැලකිල්ලක් දැක්වීම ජනාධිපතිවරයා ඇතුළු රජයේ වගකීමකි.

 

ravikumudesh photo

| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය