විදුලියට පොලු තැබූ හිටපු ඇමති සේවකයන්ට පාට් දාලා

විදුලියට පොලු තැබූ හිටපු ඇමති සේවකයන්ට පාට් දාලා
රුපියල් ලක්ෂයකට ආසන්න විදුලි බිලට පොලු තැබූ  හිටපු අමාත්‍යවරයකුගේ විජේරාම පාරේ පිහිටි  නිවසේ  විදුලි විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයන් දෙදෙනකුට  එම අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයකු  රාජකාරිය බාධා කළේ යැයි එම සේවකයන් විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.
 
එම සේවකයන් දෙදෙනාට තර්ජනය කර ගේට්ටුවෙන් එළියට තල්ලු කළ බව කුරුදුවත්ත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.  
 
 
මේ අතර කොළඹ 7, පිහිටි නිවසක විදුලිය විසන්ධි  කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට හිටපු අමාත්‍යවරයකු කළේ යැයි කියන බලපෑමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව වාහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
 
එම නිවසේ විදුලි බිලේ විශාල හිඟ මුදල පිළිබඳව කීපවරක් දැනුවත් කිරීමෙන් පසුව බිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි  කිරීමට ගොස් ඇති බව කී රත්නායක මහතා එහිදී හිටපු අමාත්‍යවරයා විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දමා ඇති බව ද සඳහන් කළේය.
 
මෙම සිද්ධිය වූ ඊයේ (23) පස්වරුවේ ද විදුලි සේවකයන් නැවත එම නිවසට ගිය අවස්ථාවේදී නිවස වසා ඇතැයි විදුලි සේවකයන් දැනුම් දුන් බව ද රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියි.