කෝටි ගණන් හුවමාරු කළ ඇඟලුම් සේවිකාව රිමාන්ඩ්

කෝටි ගණන් හුවමාරු කළ ඇඟලුම් සේවිකාව රිමාන්ඩ්
බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ එක්ව ඊෂි කෑෂ් ක්‍රමයට කෝටි ගණනින් මුදල් හුවමාරු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇඟලුම් සේවිකාවක ලබන මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් ඊයේ (23) නියෝග කර තිබේ.
 
මෙසේ බන්ධනාගාරගත කරනු ලැබුවේ නාහල්ල රීදිගම පදිංචි රාජපක්ෂ දේවලාගේ චතුරිකා ප්‍රදීපිකා ගුණදාස නමැති අයෙකි.
 
සැකකාරිය බෝගම්බර සිරගෙදරට ගොස් ඇති බව තහවුරු කර ගැනීම සඳහා අදාළ ලේඛන ද ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
 
ඊෂි කැෂ් ක්‍රමය උපයෝගි කර ගනිමින් සැකකාර කාන්තාව මාස අටක් ඇතුළත දී කෝටි ගණනකට අධික මුදලක් සංසරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි දේපළ වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත කරුණු දක්වමින් පවසා තිබේ.
 
මහ බැංකු මූල්‍ය බුද්ධි විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.
 
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශන ආරම්භ කළ නීති විරෝධී දේපළ වත්කම් විමර්ශන කොට්ඨාසය මෙම සැකකාරියගේ නමට ලබා ගත් සිම් කාඩ්පත් දෙකක් මඟින් මෙම මුදල් ඊෂි කැෂ් ක්‍රමයට හුවමාරු වී ඇතැයි අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබේ.
 
2018 ඔක්තෝබර් මස සිට 2019 ජූලි මස දක්වා වූ කාලයේ දී මෙම සිම්පත් දෙකට අදාළව අනූපන්ලක්ෂ හැත්තෑහයලක්ෂ විසිඅටදාහසක මුදලක් හුවමාරු වි ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ද ලබා දී ඇති බව ද අනාවරණය කළේය.