රාජ්‍ය සේවිකාවන්ට විශේෂ දැනුම්දීමක්!

රාජ්‍ය සේවිකාවන්ට විශේෂ දැනුම්දීමක්!

රාජ්‍ය සේවයේ නිරත කාන්තාවන් අද (01 වැනිදා) සිට​ සේවයට පැමිණිය යුත්තේ සාරිය හෝ ඔසරිය පමණක් ඇඟලාගෙන බවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.

රජයේ සේවකයන් කාර්යාල වෙත පැමිණීමේදී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන අයුරින් සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ලබා දෙමින් සැප්තැම්බර් 27 වැනිදා රාජ්‍ය පරිපාලන අමත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.

එම චක්‍රලේඛය නිකුත් කිරීමත් සමග පසුගිය දින කිහිපයේදී ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූයේ පාසල් ගුරුවරියන්ට ද පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ලබා දෙන ලෙස වෘත්තිය සමිති කළ ඉල්ලීමත් සමගය.

එහෙත් එම චක්‍රලේඛය පාසල් ගුරුවරියන් සඳහා අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නෙ පසුගියදා ප්‍රකාශ කළේය.

එම ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛය ඊයේ (30 වැනිදා) අවලංගු කෙරිණි.

මෙම චක්‍රලේඛය පිළිබඳ පසුගියදා පාර්ලිමේන්තුවේදී ද සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දුන්නේ පහසු ඇඳුම් චක්‍රලේඛය නිසි පරිදි සකස් කර නැවත ඉදිරිපත් කරන ලෙසයි.