විදුලිය ගැන කියන්නේ බොරුද?-පොදු සේවක සංගමය විමසයි

විදුලිය ගැන කියන්නේ බොරුද?-පොදු සේවක සංගමය විමසයි
විදුලි බල අමාත්‍යවරයා සහ විදුලි ඉංජිනේරු  සංගමය යන දෙපාර්ශ්වය ම එකතු වී බොරු කියන බවක් පෙනී යන හෙයින් මේ නාටකය පිළිබඳ ජනතාව අවදියෙන් සිටිය යුතු බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ පවසයි.
 
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙ‌තෙම මෙසේද, කියා සිටියේය.
 
 “නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් ඉංජිනේරු  සංගමය විසින් ප්‍රකාශයක් සිදු කළා. ඒ ප්‍රකාශයට අමාත්‍යවරයා විසින් ප්‍රතිචාර දක්වලා තියෙනවා. අපිට පෙනෙන්නේ දෙගොල්ලෝ ම එකතු වෙලා බොරු කියන බවයි.  ඉංජිනේරු  සංගමයේ සභාපතිවරයා, පවසනවා දෙසැම්බර් 31 වන දායින් පසුව පැය 10ක විදුලි කප්පාදුවක් වෙනවා. ගල්අඟුරු නැහැ කියලා."
 
 කෙසේ නමුත් අමාත්‍යවරයා පවසන පරිදි විදුලි කප්පාදුවක් මේ අයුරින් සිදු නොවන බවට සිදු කළ ප්‍රකාශයෙහි ද, සත්‍යතාවක් නොමැති බව ඔහු සඳහන් කළේ ය.
 
"දැනට ලැබී ඇති තොරතුරු අනුව නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණවත්ව ලැබී නෑ. එසේම විදුලිබල ඇමතිවරයා හා ඉන්ජිනේරු සංගමයේ සභාපතිවරයා ගහගත්තාට ඔවුන් ගනුදෙනුවක් සිදු කරනවා දැයි සැක මතු වෙනවා.  අපි හැම වෙලේ ම කියන්නේ මේ රටේ මිනිස්සුන්ට පහළ පන්තියේ සහ දැඩි දරිද්‍රතාව සහිත ජනතාවටත් විදුලි අයිතිය ලැබෙන්න ඕනේ” 
 
එසේම තව ද ජල විදුලි බලාගාරයක ජනන වියදම රුපියල් දෙකකට අඩු වියදමක් තිබෙන බව ත්, රුපියල් 08ට තිබෙන විදුලිය රුපියල් 30 ගෙන යාමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ත් ඔහු  කියා සිටියේය.
 

“මොකද අපි දන්නවා මාර්තු වෙද්දී පැය 12ක පමණ විදුලි කප්පාදුවක් ආවා. ඉන් ජනාධිපතිවරයාත් ගෙදර ගියා. ආණ්ඩුව මේ ගැන දැනගන්න ඕනේ” යැයි ද සභාපතිවරයා වැඩිදුරට ත් මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය..