ප්‍රසාද දීමාන නොගෙවීමෙන් ලංගම සේවකයින් නොසන්සුන්

ප්‍රසාද දීමාන නොගෙවීමෙන් ලංගම සේවකයින් නොසන්සුන්

ශ්‍රී ලංගම සේවකයින් නොසන්සුන්තාවයකට හා බලවත් කළකිරීමකට පත්නොකර වාර්ෂික ප්‍රසාද දීමනා මුදල  දෙසැම්බර් 31 ට ප්‍රථම වහාම ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංගම සේවකයින් වාර්ෂික ප්‍රසාද දීමනා මුදල ලබාගැනීමට විශාල බලාපොරොත්තු තබා ගෙන සිටි මුත් එම බලාපොරොත්තු සියල්ල ඔබතුමා විසින් කඩකිරීමට කටයුතු කර ඇති බව ඔබතුමාට අප සංගමය ප්‍රථමයෙන් පවසා සිටින්නෙමු.

පාඩු ලබන ආයතනවලට වාර්ෂිකව ප්‍රසාද දීමනා, මුදල් ලබා නොදෙන බවට ඔබතුමා මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත. එහි පිටපතක් මේ සමඟ අමුණා ඇත. ශ්‍රී ලංගමය ලාබ පාඩු ගණනය කරනු ලබන ආයතනයක් නොවේ. ශ්‍රී ලංගමයේ එකම අරමුණ මුදල් උපයාගැනීම නොව ජනතාවට මහඟු සේවයක් ලබාදීමය. 2020 වසරට රු.13,500/- ක මුදලක් ද, 2021 වසරට රු.13,500/- ක මුදලක්ද වශයෙන් ශ්‍රී ලංගම සේවකයන්ට වාර්ෂික ප්‍රසාද දීමනා ලබා දී ඇත. ඔබතුමා පවසන පරිදි ශ්‍රී ලංගමය පාඩු ලබන තත්ත්වයකට පත්කර ඇත්තේ එහි සේවකයන් නොව ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන් විසිනි. හිටපු ජනාපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංගමයේ බස් උපයෝගී කරගෙන දේශපාලන කටයුතු කිරීමෙන් රුපියල් ලක්ෂ 420/- ක මුදලක් ද, ඔබතුමා මැදිහත් වී City බස් සේවය ක්‍රියාත්මක කිරීම තුළින් රුපියල් ලක්‍ෂ 85/- ක මුදලක් ද ශ්‍රී ලංගමයට පාඩුකර ඇත. City බස් සේවයෙන් රුපියල් ලක්ෂ 85/- ක මුදල ශ්‍රී ලංගමයට පාඩු වූ බව හිටපු සභාපතිතුමා පවසා ඇත.

මීට අමතරව හිටපු ශ්‍රී ලංගම සභාපතිතුමා පවසන පරිදි පසුගිය කාලය තුල සුබසාධන කටයුතු සිදුකිරීම වෙනුවෙන් (සීසන් වෙනුවෙන් හා පාඩු ලබන පාරවල් වෙනුවෙන්) මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 4,200/- ක මුදලක්ද ලංගමය විසින් උපයාගන්නා ලද රුපියල් මිලියන 4,000/- මුදලක්ද, වශයෙන් රුපියල් මිලියන 8,200/- ක මුදලක් ශ්‍රී ලංගමය ලාබ ලබා ඇත.

ඉහත කරුණු පිළිබඳ ඔබතුමා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංගම සේවකයින් හට වාර්ෂික ප්‍රසාද දීමනා මුදල දෙසැම්බර් 31 ට ප්‍රථම වහාම ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වගකිව යුතු වෘත්තීය සමිතියක් වශයෙන් අප සංගමය ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.