ගුරු අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට රජයෙන් වැදගත් නිවේදනයක්!

ගුරු අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට රජයෙන් වැදගත් නිවේදනයක්!

මෙම මස අවසානයේ සිට පාසල්වල සමස්ත ගුරු හිඟය තිස් දහස ඉක්මවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය. විශ්‍රාම වයස අවුරුදු හැටට සීමා කිරීම හේතුවෙන් මෙම මස අවසානයේ දී එකවර විශ්‍රාම ගන්නා ගුරුවරුන් සංඛ්‍යාව දොළොස් දහසකි.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පුහුණු වන ගුරුවරුන් හැර පසුගිය සිව් වසරක පමණ කාලයක සිට උපාධිධාරීන් ගුරු සේවයට බඳවා නොගැනුණු හෙයින් මේ වන විට සමස්ත ගුරු හිඟය විසි දහස ඉක්මවා තිබේ.

ලබන මාර්තු මාසය වන විට විද්‍යාපීඨ පුහුණු ගුරුවරුන් අටදහසක් පමණ පද්ධතියට එක් වන අතර ඉතිරි පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් වෙනුවෙන් බඳවා ගැනීමේ විභාගයක් පැවැත්වීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ. නමුත් එම විභාගය පවත්වන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත. උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ ද සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ ද පැවැත්වීමට නියමිත හෙයින් ගුරුවරුන් බඳවා ගැනීමේ විභාගය පැවැත්වීමට සිදු වන්නේ ඉන් පසුව යැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය. මෙම තත්ත්වය මත එම ගුරුවරුන් බඳවා ගැනීමට නව වසරේ අගෝස්තු මාසයවත් වනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

මේ දක්වා පාසල්වල සේවය කළ ජ්‍යෙෂ්ඨම ගුරුවරුන් විශ්‍රාම ගැනීමත් විද්‍යාපීඨ ගුරුවරුන් හැර උපාධිධාරී නව ගුරුවරුන් බඳවා ගැනීමට මාස කිහිපයක් ගතවීමත් හේතුවෙන් පාසල් පවත්වාගෙන යාමේ බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදු වන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයෙක් කීවේය.