සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනාගැනීම ගැන ග්‍රාම සේවා නිලධාරීන් කුමක් කියයිද?

සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනාගැනීම ගැන ග්‍රාම සේවා නිලධාරීන් කුමක් කියයිද?
සමාජ සුබසාධක පනතේ 21 වන සහ 22 වන වගන්ති සංශෝධනය කරනතුරු නිවෙස් කරා ගොස් තොරතුරු එක්රැස් කරගැනීම ඉදිරියටත් සිදු නො කරන බව සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.
 
එහි සභාපති කමල් කිත්සිරි මේ බව පවසා ඇත්තේ  සමෘද්ධි ප්‍රතිලාභීන් නිවැරදිව හදුනාගැනීමේ සමීක්ෂණ කටයුතු එළඹෙන මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවට මුදල් අමාත්‍යාංශය ඊයේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
 
සමෘද්ධිලාභීන් පිළිබද නිසි ඇස්තමේන්තුවක් නොමැති බවට ඉදිරිපත් වී ඇති කරුණු සැලකිල්ලට ගෙන පසුගියදා විවෘත අයදුම්පත් කැඳවීමට රජය පියවර ගත් අතර මේවන විට අයදුම්පත් සංඛ්‍යාව ලක්ෂ 38ක් ලැබි ඇති බව එහි දී අනාවරණය විය.
 
එම අයදුම්පත් අතරින් සැබෑ ප්‍රතිලාභින් තෝරාගැනීමේ කටයුතු ග්‍රාම නිලධාරි මට්ටමින් ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් එහිදී අනාවරණය කෙරිණි.
 
කෙසේ වෙතත් ප්‍රතිලාභීන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ දී අසත්‍ය තොරතුරු ලබාදෙන ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් වරදකරුවන් වන බවට වන සමාජ සුභසාධන පනතේ 21 සහ 22 වන වගන්ති කඩිනමින් සංශෝධනය කළ යුතු බව සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි කියා සිටියේය.
 
මේ අතර ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ කියා සිටියේ  මෙම තොරතුරු රැස් කිරීමේ දී එක් නිවසක් වෙනුවෙන් ලබාදෙන රුපියල් 150ක මුදල ප්‍රමාණවත් නොවන බවයි.