2022 මෙරට කම්කරු ජනතාවට ඓතිහාසික වසරක් වේවි

2022 මෙරට කම්කරු ජනතාවට ඓතිහාසික වසරක් වේවි

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ‍පෞද්ගලික අංශයේ සේවක ආරක්ෂාව ඇති කරමින්, රටේ ආර්ථිකයේ ප්‍රධාන භුමිකාවක් වන වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සේවා සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් කම්කරු අමාත්‍යාංශය 2021 වසරේ ක්‍රියාමාර්ග රැසක් ගත් බවත් ඒවායේ යහපත් ප්‍රතිඵල මේ වන විටත් කම්කරු ප්‍රජාව  භුක්ති විඳින බව සතුටට කරුණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව ජාතික අවම වේතනය රු. 10,000/- සිට රු.12,500/- දක්වා සහ වතු සේවක අවම දෛනික වැටුප රු. 1,000/- දක්වා ඉහළ නැංවීම, පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස අවුරුදු හැට දක්වා වැඩි කිරීම, රක්ෂාව අවසන් කිරීමේදී උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 12 සිට  රුපියල් ලක්ෂ 25 දක්වා ඉහළ නැංවීම, සේවා ස්ථානයේ දි සිදුවන අනතුරක් හේතුවෙන් ගෙවූ වන්දි මුදල රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් මිලියන 2 දක්වා වැඩි කිරීම පසුගිය වසරේ කම්කරු ජනතාවට ලබා දුන් සුවිශේෂ ජයග්‍රහනයන් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ළමා ශ්‍රමය ශ්‍රී ලංකායෙන් තුරන් කිරීම අරමුණු කර ගනිමින් බිහි  රැකියාවන්හි යෙදවීමේ අවම වයස අවුරුදු 14 සිට 16 දක්වා වැඩි කිරීම ද අවු. 18ට අඩු තරුණයින් අනතුරුදායක රැකියා 71 ක නිරත කරවීම තහනම් කිරීම අද ලෝක කම්කරු සංවිධානයේ පැසසුමට ලක් වී ඇත.

කම්කරු නඩු කඩිනමින් අවසන් කිරීමට එම නඩු විමසීමට  මහේස්ත්‍රාත් අධිකරණ හා කම්කරු විනිශ්චය සභා වෙත  සමගාමී අධිකරණ බලයක් ලබාදීම ද, කම්කරු වන්දි ලබාදීම කඩිනම් කිරීමට  කම්කරු වන්දි කොමසාරිස් සහ කම්කරු විනිශ්චය සභා වෙත සමගාමී අධිකරණ බලයක් ලබාදීම පසුගිය වසරේ කම්කරු ජනතාවට ලැබුණ විශාල සහනයකි. එසේම කම්කරු විනිශ්චය සභා ඉදිරියේ සේවක නියෝජිතයන්ට පෙනි සිටිමට ද  කම්කරු විනිශ්චය සභා නියෝග බලාත්මක කිරීමේ බලය කම්කරු විනිශ්චය සභා වෙත ලබාදීම පසුගිය වසරේ සිට  ක්‍රියාත්මක කෙරුණ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැඩ තහනම් කිරීම් හෝ විනය ක්‍රියාමාර්ග මාස තුනක් ඇතුලත ඒවා අවසන් කළ යුතු බවට නව නීති පැණවීම  වැඩ කරන ජනතාවට විශාල සාධාරණය ඉටු කිරීමක් බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙන බව අමාත්‍යවරයා පවසයි. කොවිඩ් 19 වසංගතය හමුවේ සේවකයින් සහ සේවායෝජකයින් ආරක්ෂා කර ගනිමින්,රටේ නිෂ්පාදන ආර්ථිකය බිද නොවැටී පවත්වාගෙන යාමට හැකි අන්දමේ කාර්මික සාමයක් රැක ගැනීමට හැකිවීම මාගේ නායකත්වයෙන් මාසිකව රැස් වු කොවිඩ් ජාතික කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) ලද සුවිශේෂ ජයක් ලෙස සලකමි.එසේම ලෝක කම්කරු සංවිධානය සම්මත කළ වැඩබිම් හි හිංසනය පිටුදැකීමේ C 190 සම්මුතිය සහ ගෘහස්ත සේවකයන් සදහා EPF/ ETF දායකත්වය ලබාදීම සදහා C 189 සම්මුතිය මෙරට බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හැකිවීම ද මෙරට වැඩකරන පංතිය ලද විශාල වරප්‍රසාදමය ජයකි.

විදෙස්ගත වන මෙරට ශ්‍රමිකයන්ට සහ මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ට කොවිඩ් එන්නත ලබාදීම පිළිබද පැවති බරපතල ගැටලුවක් විසදමින් අප අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීමෙන් කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කිරීමට ලැබීම ද ජයකි.

විශ්‍රාම වැටුප් හෝ වැඩිහිටි වියේ අනාගත ආර්ථික සුරක්ෂිතතාවයක් නොමැති මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩ සටහනක් 2022 වසරේ පළමු මාස තුන ඇතුලත සකස්කර අවසන් කිරීමට මේ වනවිට මූලික වැඩ ආරම්භ කර ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.ඒ සදහා කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති සහ සේව්‍ය පාර්ශවයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කම්කරු අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ද ඇතුලත්ව විශේෂ කමිටුවක් පිහිටුවා ඇති බවත්,මේ වනවිට එම කමිටුව අවස්ථා රැසක රැස් වී මෙම යෝජිත සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙල පිළිබද සාකච්ඡා කර ඇත.එම කමිටු නිර්දේශ යෝජනාවලිය  ලෝක  කම්කරු සංවිධානයට ඉදිරිපත් කර ඔවුන්ගේ තාක්ෂණික සහය ලබාගෙන එම යෝජනාවලිය තවදුරටත් දියුණු කර යෝජිත සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙල යථාර්තයක් බවට පත් කරන බව අමාත්‍යවරයා පවසයි.ඒ 2022 වසර මෙරට කම්කරු ජනතාවට ඓතිහාසික ජයග්‍රාහි වසරක් වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.