වැඩබිම තුළ කාන්තාවට හිංසනය හා ප්‍රචන්ඩත්වයෙන් තොර වසරක් පතමු !

chandra-devenarayan

2022 වර්ෂයේ ආරම්භක දිනය ජනවාරි පළවෙනි දිනය අද.

2022 වසරේ ආරම්භක දිනය සිතට නිදහසකින් සමරන්නට අවස්ථාවක් තියෙනවද?

මුළු රටම, ජනතාවම ගිනි ජාලාවක පැටලිලා. ගෑස් පෝලිං, කිරි පෝලිං, හාල් පෝලිං.

ඒ විතරක් නෙවෙයි අද අප දකින්නේ සාගින්නෙන් පෙළෙන ජනතාවක්. විශේෂයෙන් බඩු මිල ඉහළ යාමත් සමඟ ජනතාවට ජීවන බර දරාගත නොහැකි තත්වයක් උදා වී බඩගින්නත් සමඟ මිනිසුන් සටන්වදින මෙවන් මොහොතක අප කෙසේ නම් උදාවූ වසරේ පළමු දිනයක් සමරන්න ද?

දැනටමත් අතනින් මෙතනින් මිනිසුන් පෙළ ගැහෙන්නේ මේ දරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව අරගලයන් වෙතය.

ජීවන වියදම ඉහළ ගියමුත් ආදායම ඉහළ ගියේ නැත. ආදායම වියදම අතර පරතරය දරා ගත නොහැකි වූ තැන අප කෙසේ සිතන්නද 2022 අරගලකාරී වසරක් වේ යැයි කියා.

ඒ මන්ද බඩගින්නට උත්තරයක් නැති වූ කළ මිනිසුන් වීදි නොබසී යැයි නොසිතා සිටිය හැකිද?

නිදහස් වෙළඳ කලාප ඇතුළු සියලුම ක්ෂේත්‍රයන්හි සේවකයන්ට තවමත් ජීවන වියදමට සාපේක්ෂව වැටුප වැඩි වූයේ නැත .

මෙය කෙතරම් නම් දරුණු තත්වයක් ද ?ඔවුන් ලබාගන්නා සොච්චම් මුදල වේල් තුනක් තියා එක වේලක්වත් කෑම සඳහාවත් ප්‍රමාණවත් නැත.

දරුවන්ගේ අධ්‍යාපනයට සෞඛ්‍යයට සහ වෙනත් වියදම් පියවා ගන්නටත් බැරිවූ සේවකයන් තම අයිතීන් උදෙසා වීදි නොබසී යයි  අප කෙසේ සිතන්නද?

එපමනක් නොව මෙවන් වකවානුවක් තුළ ජීවන වියදම්  ප්‍රශ්නය මෙන්ම වැඩබිම් තුළ හිංසනය පීඩනය ඉතාමත් තදබල ලෙස ඉහළ යමින් පවතී.

මෙවන් තත්ත්වයක් මත අප නිදහස් වෙළද කලාප ඇතුළු සියලුම සේවකයන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සිට සියලුම බලධාරීන් වෙත දන්වා සිටින්නේ ජීවන වියදමට සාපේක්ෂව සියලුම සේවකයන්ගේ වැටුප් ඉහල දමන  ලෙසත්   C190 අපරානුමත කර වැඩ බිම තුල ප්‍රචණ්ඩත්වයන්  හිංසනයන් අවමකර 2022 වර්ෂය අරගලයෙන් තොර සාමකාමී වසරක් කර රටේත් ජනතාවගෙත්, රටට මුදල් උපයන සේවකයන්ගේත්, සිත් සතන් යහපත් කරන සාමකාමී වසරක් කරන්නට පුරෝගාමීව කටයුතු කරන ලෙසය.

චන්ද්‍රා දේවනාරායන

අධ්‍යක්ෂ

RED සංවිධානය (කටුනායක)