2022 දූෂණ සංජානන දර්ශකය (CPI) ශ්‍රී ලංකාවේ ව්‍යුහගත දූෂණයේ අහිතකර බලපෑම් හෙළි කරයි - TISL

2022 දූෂණ සංජානන දර්ශකය (CPI) ශ්‍රී ලංකාවේ ව්‍යුහගත දූෂණයේ අහිතකර බලපෑම් හෙළි කරයි - TISL

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ජාත්‍යන්තර ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය (CPI) අද දින එළි දක්වන ලදි. ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 180ක රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් CPI අගයන් ගණනය කිරීම සිදු කරයි. ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළුව බාහිර මූලාශ්‍ර 13කින් ලබා ගත් දත්ත අනුසාරයෙන් CPI ගණනය කිරීම් සිදු කරනු ලැබේ. මීට අමතරව විශේෂඥ අදහස් සහ ව්‍යාපාර ප්‍රජාවගෙන් ලබාගත් සමීක්ෂණ දත්ත ද මෙම ගණනය කිරීම්වලට යොදා ගෙන ඇත. දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින් දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරයි.

2022 වසරේ ශ්‍රී ලංකාව ලබා ගත් CPI අගය 36ක් වන අතර එය පසුගිය වසරේ ලබා ගත් අගයට (37) වඩා එකකින් අඩුවී ඇත. එමෙන්ම 2020 ලබා ගත් අගයට (38) වඩා දෙකකින් අඩු වී ඇත. 2014 සිට 2017 කාලය අතරතුර මෙම අගය 38ක් ලෙස ස්ථාවර මට්ටමක පැවති ඇත. 2016 වසරේ දී අවම අගය 36කුත් 2012 වසරේ දී උපරිම අගය 40කුත් වශයෙන් පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ CPI අගය සාපේක්ෂ වශයෙන් එක් පරාසයක පැවතී ඇත. ඉතිහාසයේ වාර්තා කල තිබු අවම අගය වන 36 පසුගිය 2022 වර්ෂයේදීද වාර්තා ක‍ර තිබීම කණගාටුදායක තත්වයකි. 2022 වසරේ ශ්‍රී ලංකාවේ ස්ථානය 101 වන අතර පැනමාව, ඇල්බේනියාව, කසකස්ථානය, සර්බියාව, ඉක්වදෝරය, පේරූ සහ තායිලන්තය යන රාජ්‍ය ශ්‍රී ලංකාව හා සම ස්ථානයේ පවතී.

ඩෙන්මාර්කය (90), පින්ලන්තය (87) සහ නවසීලන්තය (87) දර්ශකයෙහි ඉහළින් සිටින රටවල් වන අතර දකුණු සුඩානය (13), සිරියාව (13) සහ සෝමාලියාව (12), එහි පහළ ස්ථානවල සිටීයි.

අල්ලස, රාජ්‍ය මුදල් අවභාවිතය, දූෂණ ක්‍රියා උදෙසා ඵලදායි ලෙස නඩු පැවරීම, ප්‍රමාණවත් නෛතික රාමු, තොරතුරුවලට ප්‍රවේශය සහ අකටයුතු නාදකයන්, මාධ්‍යවේදීන් සහ විමර්ශකයන් සඳහා වන නෛතික ආරක්ෂාව යන ක්‍රියාකාරකම් දූෂණ සංජානන දර්ශකය සම්පාදනයේ දී පදනම් වී ඇත.

ජර්මනියේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ලේකම් කාර්යාලයේ නිරීක්ෂණයට අනුව සමස්තයක් ලෙස ගත්විට ලෝකයේ බොහෝ රටවල් දූෂණයට එරෙහිව සටන් කිරීමට අපොහොසත් වී ඇත: රටවල්වලින් 95% ක් 2017 වර්ෂයේ සිට කිසිදු ප්‍රගතියක් ලබා නැත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්තා කරන ආකාරයට දූෂණයට එරෙහිව රාජ්‍යයන් කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇති නමුත් ඒ සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ අවම රටවල් ප්‍රමාණයකි.

රටේ ආර්ථිකයට සහ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය මත අහිතකර ලෙස බලපා ඇති දූෂිත චෞර තන්ත්‍රය සහ පවත්නා ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග නොගැනීමත් සමග සිවිල් සමාජය මර්දනය කිරීම තුළින් දූෂණය මැඩලීමට දේශපාලන කැමැත්තක් නොමැති බව පිළිඹිබු වීම යන හේතු මත ශ්‍රී ලංකාව ද මෙම ගණයට අයත් වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) අවධාරණය කරයි. පසුගිය වසරේ රට පුරා ව්‍යප්තවූ ජනතා අරගලයක නිරත වූ ශ්‍රී ලාංකිකයන්, දූෂණය සහ දුර්වල ආණ්ඩුකරනය මගින් රටේ ආර්ථිකය සහ ඔවුන්ගේ එදිනෙදා ජීවිතය කෙරෙහි ඇති කරන දැඩි බලපෑම තේරුම් ගනිමින්, ජාතියේ බංකොලොත්භාවයට වගකිව යුතු අයට එරෙහිව විරෝධය දක්වමින්, දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි ආකාරය රජය සිහි තබාගත යුතු බව TISL ආයතනය අවධාරණය කරයි. කඩා වැටී ඇති ආර්ථිකය යළි පණ ගැන්වීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය පතා ඇති අතර ඒ සඳහා මූල්‍ය විනිවිදභාවය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශක්තිමත් දූෂණ විරෝධී නීතිමය රාමුව වැඩිදියුණු කිරීම තුළින් දූෂණ අවදානම් අවම කිරීමේ අවශ්‍යතාව එම ආයතනය ද අවධාරණය කර ඇත.

පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ මූලික අවශ්‍යතා සුරක්ෂිත කිරීම අතිශයින් වැදගත් වේ. එහෙයින්, විදේශ ආයෝජන, සංචාරක ප්‍රවර්ධනය සහ වෙනත් ආදායම් උත්පාදන ක්‍රම සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ ආධාර සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ලබා ගැනීම රජයට අත්‍යවශ්‍ය වී ඇත. නමුත් මේ සියලු අභියෝග ජය ගැනීමට නම්, නීති පද්ධතිය සහ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ඇති විශ්වාසය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඉන් පිටත තහවුරු කිරීම අත්‍යාවශ්‍ය වේ.

පසුගිය වසරේ TISL ආයතනය ඉල්ලා සිටි, ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අත්‍යවශ්‍ය දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ අද වන විටත් ක්‍රියාත්මක වී නොමැත. ශ්‍රී ලංකාව තුළ දූෂණය තුරන් කර, සැබෑ පද්ධති වෙනසක් (සිස්ටම් චේන්ජ්) ඇති කිරීමට නම්, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්‍ෂණය ශක්තිමත් කිරීම, රාජ්‍ය ප්‍රසම්පාදනවල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, රාජ්‍ය අංශය දේශපාලනීකරණයෙන් ඉවත් කිරීම, රජය සතු ව්‍යාපාර විගණනය සහ අධීක්ෂණය කිරීම සහ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් ගත යුතු බව TISL ආයතනය නැවත අවධාරණය කරයි. TISL ආයතනය පෙන්වා දෙනුයේ රජය කෙරෙහි පළුදු වී ඇති විශ්වාසය නැවත ඇති කළ හැකි එකම මාර්ගය වන්නේ රජය මෙම අවශ්‍යතා වචනයෙන් නොව ක්‍රියාවෙන් ඉටු කිරීම බවයි.

සමස්ත ශ්‍රී ලාංකිකයන් වශයෙන් පවත්නා පද්ධතිය වෙනස් කිරීමට නම් (සිස්ටම් චේන්ජ්), සංස්කෘතිමය වෙනසක් සඳහා පුරෝගාමී වන ලෙස TISL ආයතනය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. අවසාන වශයෙන්, සෑම විටම දූෂණයට එරෙහි වෙමින් සුපිළිපන්භාවය ආරක්ෂා කරන ලෙසත්, සේවා ස්ථාන සහ ව්‍යාපාරවල සිදුවන දූෂණය නොඉවසන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසත්, පුරවැසි වගකීම් ඉටු කරන ලෙසත්, පාලනයට සහභාගී වන ලෙසත්, අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින ලෙසත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලදී වෙනස්ව සහ බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත්, TISL ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  • ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) යනු දූෂණය තුරන් කිරීමට සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමට කැප වී සිටින, දූෂණයට එරෙහි ගෝලීය සිවිල් සමාජ සංවිධාන ජාලයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) හි දේශීය පරිචයයි. වාර්ෂිකව දූෂණ සංජානන දර්ශකය සම්පාදනය කිරීමේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දත්ත ලබා ගන්නේ ඉහත සඳහන් කර ඇති පරිදි TISL ආයතනයට පරිබාහිර මූලාශ්‍රවලින් වේ.