පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද සිට

පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද සිට

පසුගියදා සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද (01)  සිට ක්‍රියාත්මක වේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී විවාද ‍කිරීමෙන් අනතුරුව, සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහතික කළේ, පසුගිය දෙසැම්බර් 19 වැනිදා ය.

මෙම පනත යටතේ රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදායම මත 6% සිට  36% දක්වා බදු අය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වනු ඇති අතර නව බදු සංශෝධනය යටතේ මාසික ආදායම රුපියල් ලක්ෂය දක්වා බද්දෙන් නිදහස් කර තිබේ.

මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මන විට,ඉක්මවන ආදායම මත 6% සිට 36% දක්වා ආදායම් කාණ්ඩ 6ක් යටතේ බදු අය කිරීමට නියමිත ය.

ඒ අනුව මසකට රුපියල් 350,000ක ආදායමක් ලබන අයෙකු මසකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 52,500කි.

මේ  සම්බන්ධයෙන් පැහැදිලි කරමින්  දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම්,දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දන මහතා ප්‍රකාශ කළේ,ජනතාව වෙත වැඩි බදු බරක් පැටවෙන සේ  මෙම කාර්යය සිදුව ඇති බව ය.

එසේම,සමාගම් හා සංස්ථා සඳහාද  ලාභය මත බදු අය කිරීමේ අනුපාතය ද  ඉහළ ගොස් ඇති බවත්,එකතු කළ අගය මත බද්ද සඳහා  8% ක්ව පැවැති  බදු අය කිරීම 15% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.