අනුමත ස්ථාන මාරු ක්‍රියාත්ම නොකිරීමෙන් රෝහල් කටයුතු බිඳ වැටීමේ අවදානමක

අනුමත ස්ථාන මාරු ක්‍රියාත්ම නොකිරීමෙන් රෝහල් කටයුතු බිඳ වැටීමේ අවදානමක

සෞඛ්‍ය අමාත්‍යංශයේ අකාර්යක්ෂම හා නිද්‍රාශීලි පිලිවෙත හමුවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමත වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාත්මක නොවීම හරහා පර්යන්ත රෝහල් පද්ධතිය බිඳ දැමිමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ශ්‍රී ලංකාව තුල ගුණාත්මක හා ඒකාකාරි සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම කෙරෙහි අවශ්‍ය ප්‍රධාන සාධකයක් ලෙස වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය වෘත්තීකයින් දිවයින පුරා සමතාවයකින් යුක්තව ස්ථානගත කිරීම හඳුනා ගෙන ඇත.

මෙහිදි ඔවුන්ට ලැබෙන වාර්ෂික ස්ථානමාරු නියෝග නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණකි. 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් අනුමත වෛද්‍යවරුන් සඳහා ලැබෙන ස්ථාන මාරු නියෝග නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකරන පසුබිමක දිවයින පුරා රෝහල් ගණනාවක වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ බරපතල විෂමතාවයක් මේ වන විට මතුව තිබේ. ඒ හරහා පර්යන්තයේ ඇති රෝහල් ගණනාවක් බරපතල ලෙස බිඳ වැටීමේ අවදානමක් විවර වී ඇත.

උතුරු නැගෙනහිර පර්යන්තයේ පවතින රෝහල් වලට අමතරව මොණරාගල, හම්බන්තොට හා නුවරඑළිය වැනි රෝහල් ගණනාවක්ද මේ හරහා දැඩි බලපෑමකට ලක්වෙමින් පවති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස පසුගිය කාලය පුරාවටම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු නියෝග නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම බලධාරීන් වෙත දිගින් දිගටම පෙන්වා දී ඇත. කෙසේ නමුත් සෞඛ්‍ය බලධාරීන් මේ සඳහා දක්වන අකාර්යක්ෂම හා නිද්‍රාශීලි පිළිවෙත හරහා ගැටලුව තවදුරටත් තිව්‍ර තත්ත්වයකට පත් කර ඇත.

පසුගිය කාලය තුල සෞඛ්‍ය ලේකම්වරයා විසින් වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරුන්ට ලබා දුන් උපදෙස් චවන වලට පමණක් සීමා වී ඇත. මේ හරහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් තනතුර පවා දැඩි ලෙස හෑල්ලුවට ලක් වී ඇත.

සෞඛ්‍ය ලේකම් විසින් ප්‍රකාශයට පත් කළ වාර්ෂික ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීමේ සතිය තුල රෝහල් අධ්‍යක්ෂකවරුන් නිදහස් කර ඇත්තේ 8% කට ආසන්න ස්ථානමාරු නියෝගයන් ප්‍රමාණයක් පමණක් වීමෙන් මේ බව තහවුරු වෙයි.

දැනට පවතින සංඛ්‍යා ලේඛන අනුව මේ වන විට ක්‍රියාත්මක නොවි පවතින වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාණය 6000 කට‌ ආසන්නය. වෙනත් වචන වලින් කිවහොත් සමස්ථ ශ්‍රේණි වෛද්‍යවරුන් අතුරින් 30% කට වැඩි පිරිසකට ක්‍රියාත්මක නොවුණු ස්ථාන මාරු නියෝග තබා ගනිමින් සේවය කිරීමට සිදුව ඇත.

මේ අතුරින් අති බහුතරයක් වෛද්‍යවරුන්ට තම නිත්‍යානුකූල ස්ථාන මරු නියෝගය ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය නමුත් වෛද්‍ය පරිපාලනයේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් දිනෙන් දින අපේක්ෂා භංගත්වයට පත්වෙමින් සිටියි.

ක්‍රියාත්මක නොවුණු ස්ථානමාරු අතුරින් 40% කට වැඩි ප්‍රතිශතයක් බස්නාහිර පලාත තුල වෙයි.

රෝහල් ලෙස ගත් විට කොළඹ ජාතික රෝහල (527), මහනුවර ජාතික රෝහල (301), කලුබෝවිල ශික්ෂණ රෝහල (145), මහරගම අපේක්ෂා රෝහල (165), ‌බොරුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල (178), කරාපිටිය ශික්ෂණ රෝහල (138), පේරාදෙණිය රෝහල (133), මාතර මහ රෝහල (114), රාගම ශික්ෂණ රෝහල (105) යන රෝහල් 9 හි අකාර්යක්ෂමතාවය කැපි පෙනෙයි.

මේ හරහා ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින වෛද්‍යවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමට අමතරව සමස්ථ සෞඛ්‍ය පද්ධතියේ පැවැත්ම සඳහා බරපතල නිශේධාත්මක බලපෑමක් එල්ල වී ඇත. 

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රිතින් අනුවද ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි උපදෙස් නිකුත් වී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇති පරිදි ස්ථානමාරු නියෝග ලැබු දිනයේ සිට මාස 03 ක කාලයක් ඇතුලත ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම රෝහල් අධ්‍යක්ෂවරයාගේ වගකීම බව පැහැදිලිය.

ඒ අනුව සියලු නීතිරිතින් උල්ලංඝනය කරමින් ස්ථාන මාරු නියෝගයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු බලධාරීන්ට එරෙහිව පවතින රෙගුලාසි අනුව ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අවධාරණය කරමු. ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත විධිමත් පරිදි පැමිණිලි කිරීමට අපේක්ෂා‌ කරමු.

පර්යන්ත රෝහල් පද්ධතිය බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව මෙම නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය හා නිද්‍රාශීලි පිළිවෙත මඟින් දිගින් දිගටම පෙන්වා දෙමින් පවතියි.

සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් තවදුරටත් මෙම අකාර්යක්ෂමතාවයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරයි නම් වෘත්තීය සංගමයක් ලෙස ඊට එරෙහිව ගත හැකි උපරීම ක්‍රියාමාර්ග කරා යෑමට පසුබට නොවන බව අවධාරණය කරමු.