අසාධාරණ බදු යෝජනා අහෝසි කරන ලෙස ඉල්ලයි

අසාධාරණ බදු යෝජනා අහෝසි කරන ලෙස ඉල්ලයි

2023 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා නියමිත වෘත්තිකයන්ගේ වැටුපෙන් විශාල මුදලක් අයකරගන්නා අසාධාරණ බදු යෝජනා අහෝසි කරනා ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

  • රජයේ සේවයේ වැටුප් දීමනා පසුගිය වසර පහක පමණ කාලය තුල කිසිඳු වැඩිවීමක් සිදුව නැත. එහෙත් පසුගිය කාලය තුළ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, ඉන්ධන මිල, විදුලි බිල්පත්, දුරකථන බිල්පත්, බැංකු පොලී අනුපාත විශාල ලෙස ඉහල නංවා ඇති අතර එම මිල ගණන් තවදුරටත් ඉහල යෑමට නියමිතය. මේ තත්වය හමුවේ ජීවන වියදම ආසන්න වශයෙන් තුන් ගුණයක් පමණ ඉහල ගොස් ඇත. මේ හේතුවෙන් වැටුපෙන් පමණක් ජීවිතය ගෙවන වෘත්තිකයන් බරපතල දුෂ්කරතාවයකට මුහුණ දී ඇත.
  • තත්වය එසේ තිබියදී 2023 අයවැය මගින් වෘත්තිකයන්ගේ වැටුපෙන් විශාල මුදලක් අය කරන අසාධාරණ බදු යෝජනාවලියක් ඉදිරිපත් කර මෙම මාසයේ සිට එය ක්‍රියාත්මක කිරීමට සූදානම්ව ඇත. මෙම තත්වය හමුවේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් බරපතල ආර්ථික අපහසුතාවයකට මුහුණ දී ඇත. මෙම නිසා වෘත්තියන් විශාල පිරිසක් රට හැර ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් එසේ රට හැරයාමට සූදානමින් සිටිති.
  • මෙම අසාධාරණ බදු අයකිරීම කිසිසේත්ම රටට හිතකර නොවන අතර තවත් බොහෝ වෘත්තිකයන් ප්‍රමාණයක් රට හැර යනු ඇත. මෙරට රැදී සිටින වෘත්තිකයන්ටද රැකියාවේ තෘප්තිය අහිමි වී ඇති බැවින් ඔවුන්ගේ සේවාව නිසි ලෙස ලබා නොහැකි වී ඇත. අවසානයේදී රැකියාවත්, රටත් එපාවූ කිසිඳු වෘත්තීය තෘප්තියක් නැති, වෘත්තියන්ගෙන් රටට අවශ්‍ය සේවය ලබා ගත හැකිවේදැයි යන ප්‍රශ්ණය මතුව තිබේ.
  • එම නිසා වෘතිතිකයන්ගේ ජීවන තත්වය පහත හෙලමින් ඔවුන් මත අධික බදු බරක් පටවන මෙම අසාධාරණ බදු යෝජනා අහෝසිකරන මෙන් ඉල්ලා සිටිමු.