ලංකාවේ ණය අහෝසි කළ යුතු බවට විද්වතුන්ගේ ප්‍රකාශයට වෘත්තීය සමිතියකින් ප්‍රතිචාරයක්

ලංකාවේ ණය අහෝසි කළ යුතු බවට විද්වතුන්ගේ ප්‍රකාශයට වෘත්තීය සමිතියකින් ප්‍රතිචාරයක්

ශ්‍රී ලංකාවේ ණය අහෝසි කරන මෙන් ජාත්‍යන්තර විද්වතුන් කළ ප්‍රසිද්ධ ඉල්ලීම සම්බන්ධව ලෝකයේ විශිෂ්ඨ ගණයේ විද්වතුන්ගේ අත්සනින් ප්‍රකාශණයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් කම්කරු අයිතිවාසිකම් සඳහා ක්‍රියාකාරී සහ ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලන වෙත එම විද්වතුන්ගේ ඉල්ලීමට සහය ලබාදෙන ලෙස ඉල්ලා ලිපියක් යොමු කර ඇත.

එම ඉල්ලීම් කරන ලද ලිපිය පහතින් දැක්වේ.

2023 ජනවාරි 10

කම්කරු අයිතිවාසිකම් සඳහා ක්‍රියාකාරී සහ ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලන සියල්ලට

හිතවත් සැමට,

ශ්‍රී ලංකාවේ ණය අහෝසි කරන මෙන් ජාත්‍යන්තර විද්වතුන් කළ ප්‍රසිද්ධ ඉල්ලීම සම්බන්ධවය

ශ්‍රී ලංකාවේ ණය බරට හවුල් වෙමින් එම ණය අහෝසි කිරීම සඳහා සහතික වන මෙන් ද්විපාර්ශවීය, බහුපාර්ශවීය හා පෞද්ගලික ණය දෙන සියල්ලන්ගෙන් ජාත්‍යන්තර පිළිගැනුමක් ඇති ආර්ථික විද්‍යාඥයින් සහ සංවර්ධන විශේෂඥයින් 182 කුගේ අත්සනින් ඉකුත් ජනවාරි 08 වන ඉරු දින ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබුණි. ඔවුන්ගේ නිවේදනයට අනුව, “ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ සාකච්ඡා දැන් ඇත්තේ ඉතා අවදානම් අවදියක ය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බරට හවුල් වෙමින් ආසන්න කාලයේ ලබා දෙන අමතර මූල්‍ය පහසුකම් සඳහාද සියලු ණය දෙන්නවුන් - ද්විපාර්ශවීය, බහුපාර්ශවීය හා පෞද්ගලික ණය දෙන්නවුන් -  සහතික විය යුතුය. එහෙත් ශ්‍රී ලංකාවට එය තනිව කරගත නොහැක. ඒ සඳහා මීට වැඩි ජාත්‍යන්තර සහායක් අවශ්‍ය වනු ඇත. භූ-දේශපාලනික උප්පරවැට්ටි වෙනුවට ශ්‍රී ලංකාවට ණය ලබා දුන් සියල්ලන් වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි අයුරු ණය අහෝසි කිරීම සහතික කළ යුතුය. (සම්පූර්ණ නිවේදනය - https://debtjustice.org.uk/wp-content/uploads/2023/01/Sri-Lanka-debt-statement.pdf&

ජාත්‍යන්තර පිළිගැනුමක් ඇති ආර්ථික විද්‍යාඥයින්ගෙන් සහ සංවර්ධන විශේෂඥයින්ගෙන් මෙම ඉල්ලීම කෙරෙන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක ය. අවුරුදු 40 ට වැඩි කාලයක් බදු ගෙවන්නන්ගේ මුදලින් ජාවාරම්කාර ආයෝජකයින් සඳහා ලබාදුන් බදු සහන සහ දිරි ගැන්වීම් වෙනුවෙන් ඔවුන්ගෙන් කිසිදු ආකාරයක වැදගත් ලාභයක් රටට නොලැබුණි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ) විසින් ජාතික ආර්ථිකයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා කෙරෙන බල කිරීම්වල වාසිය ඇත්තේද මෙම ජාවාරම්කාර ආයෝජකයින්ටම ය. ජා.මූ.අරමුදලේ සහාය ලබා ගැනීමට මේ වසරේ දෙවන කාර්තුව පමණ විය හැකි යැයි මීට සතියකට පෙර ජනාධිපති වික්‍රමසිංහ මාධ්‍යයට කියා තිබුණි. එයද සිව් වසරක් සඳහා ඇ.ඩො. 02.9 ක් පමණ වන සොච්චමකි.

ජනාධිපති වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ වනවිටත් ජා.මූ.අරමුදලේ කොන්දේසි ඉටු කිරීම ආරම්භ කර ඇත. එමගින් නවීකරණය කෙරෙන බදු ක්‍රමයෙන් දිළිඳු සහ සමාජීය පිටුවහලට හසු වූවන් තව අසීරුවට පත් කෙරෙන්නේය. ජාත්‍යන්තර විද්වතුන්ගේ මෙම නිවේදනයෙන් එනමුත් කියන්නේ, “එහෙත් ඊට වෙනස් ලෙස අවධානය යොමු කළ යුත්තේ පසුගිය වසර 15 ක කාලයේ මිල හා භාණ්ඩ වාරණ වෙනස් කිරීම් මගින් අනීතිකව සිදු කළ ධනය පිටමං කිරීම පාලනය කරනු සඳහා නීතිමය හා නියාමන පියවර ගැනීමට ය. එම මුදල ශ්‍රී ලංකාවේ විදේශ ණය එකතුවට වඩා වැඩි යැයි ගණන් බලා ඇත. එවගේම මහා ධනවතුන්ගේ පරිභෝජනය හා වත්කම් සඳහා බදු අය කිරීම් වෙත ය.” එය මූලික වශයෙන් වෘත්තිය සමිතියක් ලෙස අප ප්‍රසිද්ධියේ අවධානය යොමු කළ කාරණා වන්නේය.     

ජාත්‍යන්තර විද්වතුන්ගේ නිවේදනයෙන්ද පැවසෙන අයුරු, ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය සඳහා ජා. මූ. අරමුදලෙන් ඉදිරිපත් කෙරෙන ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම් කිසිවකින් විසඳුම් ලැබෙන්නේ නැත. ශ්‍රී ලංකාවට ණය ලබා දුන් සියල්ලන් භූ-දේශපාලනික උප්පරවැට්ටි වෙනුවට වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි අයුරු ශ්‍රී ලංකාවේ ණය අහෝසි කිරීම සහතික කළ යුතුයැයි මේ ජාත්‍යන්තර විද්වතුන් කළ ප්‍රසිද්ධ ඉල්ලීම අප අගය කරන්නේ එවැනි සන්දර්භයක ය.

සියලු ණය දෙන්නවුන් වෙත ජාත්‍යන්තර විද්වතුන්ගෙන් කෙරෙන මෙම ඉල්ලීම කම්කරු අයිතිවාසිකම් සඳහා ක්‍රියාකාරී සහ ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලන සියල්ල විසින් ඉදිරියට ගත යුතු යැයි අපි විශ්වාස කරමු. ශ්‍රී ලාංකීය අපනයන නිෂ්පාදන හා සේවා අංශ මේ වනවිට විදේශ ඇණවුම් ලබා ගැනීමේ අපහසුතා වලට මුහුණ දෙන සහ රැකියා අහිමිවීමේ අනතුරුද ඇති පසු බිමක එම ඉල්ලීම වඩාත් ශක්තිමත් ලෙස ඉදිරිපත් කළ යුතු වන්නකි. මේ වනවිට එක්සත් ජාතීන්ගේ ආයතන හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන විසින් සිදු කෙරුණු අධ්‍යන වලට අනුව වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර මන්දපෝෂණයත් ශාරීරික ක්ෂයවීම හා වැඩීම බාලවීමත් ඉහළ ගොස් ඇත. පාසල් යෑම අත හරින්නට සිදුවන දරුවන් සංඛ්‍යාවද සීඝ්‍රයෙන් වැඩි වන්නේය.

දිළිඳු සහ සමාජීය පිටුවහලට හසු වූවන් තව තවත් පීඩනයට හසු නොවන සාධාරණ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමට වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස අපි වත්මන් අර්බුදයට මැදිහත් වීමු. ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බරට හවුල් වෙමින් වත්මන් අර්බුදයෙන් එගොඩ වන්නට හැකි අයුරු ශ්‍රී ලංකාවේ ණය අහෝසි කිරීම සහතික කරන මෙන් සියලු ණය දෙන්නවුන්ගෙන් ජාත්‍යන්තර විද්වතුන් කළ ඉල්ලීමට ගරු කරන ලෙස ඔවුන්ගෙන් මෙන්ම බලවත් රාජ්‍යන්ගෙන්ද ඉල්ලා සිටිය යුතු යැයි අපි කම්කරු අයිතිවාසිකම් සඳහා ක්‍රියාකාරී සහ ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලන සියල්ලෙන් ඉල්ලමු. එහි වාසිය දිළිඳු සහ සමාජීය පිටුවහලට හසු වූවන්ට ලැබිය යුතු හෙයින් ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට කොන්දේසි පැනවිය යුතු යැයිද අපි කියමු.

සහන අත්‍යාවශ්‍ය ජනතාවට එකී ණය අහෝසි කිරීමේ වාසි ලැබෙන ලෙස පහතින් සඳහන් කොන්දේසි ණය අහෝසි කිරීමේ ඉල්ලීමට එකතු කරන මෙන් ඒ අනුව අපි යෝජනා කරන්නෙමු.

  1. සියලු අත්‍යාවශ්‍ය ආහාර සඳහාවන සෘජු හා වක්‍ර බදු අයින් කිරීම
  2. විදුලි බලය හා ඉන්ධන සඳහා යෝජිත මිල වැඩි කිරීම් වහා අත් හිටුවීම සහ
  3. ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුවට වග කියන්නාවූ ත්‍රෛපාර්ශවීය මණ්ඩලයක් ස්ථාපිත කිරීම

ඉතා හදිසි මෙම ඉල්ලීම වෙනුවෙන් ඔබගේ ප්‍රතිචාරය නොපමාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

ස්තුතියි.

මෙයට සහෝදරත්වයෙන්,

ඇන්ටන් මාකස්

සම ලේකම්

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

(මුල් ඉංග්‍රීසි ලිපියෙහි සිංහල අනුවාදය)

විද්වත්න්ගේ ලිපිය පහතින්