ලෝකයේ ඉහළ සංවර්ධිත රාජ්‍යයන්හි සෞඛ්‍ය දර්ශක හා තරගකාරී මට්ටමක පිහිටා සිටිමින්, ජාත්‍යන්තරයේ නොමද පැසසුමට ලක්වෙමින් අනභිභවනීය සේවාවක් සපයන්නට ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සමත් වී ඇති බව නොරහසකි. එහෙත් පාලකයින්ගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයත්, අසමත්භාවයත් හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවාව දිනෙන් දින පරිහානියට ලක්වෙමින් පවතී.
දිනෙන් දින උග්‍ර වන ඖෂධ සහ උපකරණ හිඟය විසඳීමට තිරසාර විසදුමක් ලබාදීමට බලධාරීන් තවමත් අසමත්ව ඇත. පද්ධතිය වෙලාගත් වංචා, දූෂණ සහ විෂමාචාරයන් විසින් ඖෂධ අර්බුදය දැඩි ආගාධයකට රැගෙන ගොස් ඇති අතර ඖෂධ හිඟය හේතුවෙන් සිදුකරන හදිසි මිලදී ගැනීම් හරහා විෂමාචාරයන්ට නව මංපෙත් විවර කර දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වල පරිපාලනය, අකාර්යක්ෂමතාවය සහ නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම සෞඛ්‍ය සේවාවේ ගැටලු රාශියකට හේතු වී ඇත. එම ගැටලූ විසඳීමට පාලකයින් හෝ බලධාරීන් සාධනීය මැදිහත්වීමක් සිදුනොකිරීම කණගාටුදායක තත්ත්වයකි.
රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණයත්, යහපත් වෘත්තීය පරිසරයක් නොමැති වීමත් හේතුවෙන් වෛද්‍යවරුන් වේගයෙන් රට හැර යමින් පවතින අතර, හඳුන්වා දී ඇති අසාධාරණ බදු සංශෝධන හරහා ඔවුන් තවත් පීඩනයට සහ ඉච්ඡාභංගත්වයට පත්ව ඇත.
ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටීමට මඟ පාදන ඖෂධ අර්බුදය, අසාධාරණ බදු සංශෝධන, දුෂිත සෞඛ්‍ය අමාත්‍යංශ පරිපාලනය ආදියට විරෝධය පළ කරමින් සහ විසදුම් ලබාදීමට බල කරමින් දියත් කිරීමට නියමිත කලු විරෝධතා සතියක් ආරම්භ කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් පහත සඳහන් තීරණ ගත් බව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය යනු ශ්‍රී ලාංකීය පොදු ජනතාවට හිමි සුවිශේෂි වරප්‍රසාදයන් ද්විත්වයකි. උග්‍ර සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදයකින් බැට කන මෙවන් මොහොතක සෞඛ්‍ය සේවාව බිඳ වැටී ස්වකීය ජීවත්වීමේ අයිතිය අවදානමට ලක්වීම යනු ජනතාව කබලෙන් ලිපට වැටීමකි. සෞඛ්‍ය සේවාව බිඳවැටීම හරහා අවදානමට ලක්වන්නේ ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ ජීවිතයි. එබැවින් ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම අප සැමගේ සාමූහික වගකීමයි.
