මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකතුව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතිය සම්බන්දයෙන් දැඩි අවදානයක් යොමු කරයි

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකතුව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතිය සම්බන්දයෙන් දැඩි අවදානයක් යොමු කරයි
  •  ප්‍රමාණවත් අධීක්ෂණ යාන්ත්‍රණයක් නොමැත
  • තෙවන පාර්ශවීය වියදම් නියාමන ක්‍රමවේදයක් නොමැත
  • මැතිවරණ ප්‍රචාරණය සදහා ලැබෙන  පරිත්‍යාග සඳහා සීමාවක් නැත
  • පළාත් පාලන මැතිවරණය කල් දැමීමට මෙම කෙටුම්පත භාවිතා නොකළ යුතුයි 

යෝජිත "මැතිවරණ මූල්‍ය නියාමනය කිරීමේ පනත් කෙටුම්පත" පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීම සඳහා නියමිතය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL), නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය  (PAFFREL), මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මද්‍යස්ථානය (CMEV), ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES) වසර ගණනාවක් තිස්සේ මැතිවරණ ව්‍යාපාරවල දී මුදල් භාවිතය නියාමනය කිරීම සහ ඒ සඳහා ශක්තිමත් නීති පද්ධතියක් සම්පාදනය කිරීමේ අවශ්‍ය තාවය  වෙනුවෙන් හඬ නගා ඇත. 

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකතුව අවධාරණය කරන්නේ මැතිවරණ ප්‍රචාරක මූල්‍යකරණය නියාමනය කිරීමට ගෙන එන නීති හරහා අපේක්ෂකයින්ට, පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට පරිත්‍යාගශීලීන්ගේ සිදු විය හැකි අනිසි බලපෑම් වැළැක්විය යුතු බවත්, නවකයින් සහ අඩු නියෝජනයක් ඇති කණ්ඩායම් ඇතුළු සියලුම අපේක්ෂකයින් සඳහා සම අවස්ථාවන් ලැබෙන මැතිවරණ පරිසරයක් නිර්මාණය කළ යුතු බවත්, අධික ලෙස වියදම් කිරීම හා රාජ්‍ය මුදල් සහ දේපල අවභාවිතය සහ ඡන්දය මිලදී ගැනීම වැනි නීති විරෝධී ආකාරයෙන් මැතිවරණ සඳහා වියදම් කිරීම අවම කළ යුතු බවත්ය. මෙම නීතිය ඵලදායි වීමට නම්, බලධාරීන් සහ පුරවැසියන් යන දෙඅංශයෙන්ම ශක්තිමත් අධීක්ෂණ සහ බලාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ද අන්තර්ගත විය යුතුය. 

කෙසේ වෙතත්, 2022 නොවෙම්බර් 29 වෙනි දින ගැසට් කරන ලද පනත් කෙටුම්පත ඉහත  අරමුණු ඉටු කර ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මෙම පනත, විදේශ රාජ්‍ය, ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි ආයතන, විදේශීය කොටස් හිමියන් සහිත සමාගම් සහ නිර්නාමික පරිත්‍යාගශීලීන් වැනි ඇතැම් පාර්ශවයන්ගෙන් මැතිවරණ ප්‍රචාරණ පරිත්‍යාග ලබාගැනීම තහනම් කරයි. එනමුත්, එය අපේක්ෂකයෙකුට, පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඕනෑම මූලාශ්‍රයකින් කොපමණ පරිත්‍යාග ප්‍රමාණයක් ලබා ගත හැකිද යන්න පිළිබඳ සීමාවක් පනවන්නේ නැති අතර, මේ හරහා තෙවන පාර්ශවයකට අනවශ්‍යය බලපෑම් සඳහා ඉඩ ලබා දේ. 

සෑම මැතිවරණයකදීම අපේක්ෂකයකුගේ වියදම් සීමාව ලෙස නිශ්චිත අගයක්  නම් කිරීම මෙම පනත් කෙටුම්පතෙන් අපේක්ෂා කරන නමුත්, එය තීරණය කිරීම සම්බන්දයෙන්  ප්‍රමාණවත්  කරුණු ඇතුලත් කර නොමැත. එමෙන්ම මෙය නියාමනය කිරීමට ප්‍රමාණවත්  අධීක්ෂණ යාන්ත්‍රණයක්ද සකසා නැත. තවද, මෙය දේශපාලන පක්ෂ සහ තුන්වන පාර්ශ්ව විසින් සිය අපේක්ෂකයින් සඳහා වියදම් කිරීමද වළක්වන්නේ නැත. එබැවින්, මෙම යෝජිත වියදම් සීමාවෙන් සිදු වන්නේ මෙම නීතිය හඳුන්වාදීමේ අරමුණම පරාජයට පත්වීම පමණි. 

වියදම් සීමාවන් බලාත්මක කිරීම සඳහා යෝජිත ක්‍රියාපටිපාටියද ප්‍රමාණවත් නොවේ. මෙම පනත් කෙටුම්පතෙහි අපේක්ෂකයින් විගණනය කරන ලද ගිණුම් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව (ECSL) වෙත ඉදිරිපත් කළ යුතු බවත්, කොමිසම එම තොරතුරු ජනතාවගේ නිරීක්ෂණය සඳහා ලබාගත හැකි බව දැන්විය යුතු බව පමණක් අඩංගු වේ. වඩාත් ඵලදායි නීතියක් සඳහා, අපේක්ෂකයින්, පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, ප්‍රචාරණ සඳහා වෙන්කරන ලද ගිණුම් පවත්වාගැනීමත්, ඒවා මැතිවරණ කොමිෂන් සභාව වෙත හෙළිදරව් කිරීමත් අවශ්‍ය වන අතර, එවැනි තොරතුරු මහජනතාවට ඩිජිටල් මාධ්‍ය හරහා ප්‍රවේශ විය හැකි විය යුතු අතර, පහසුවෙන් පරීක්ෂාවට ලක් කල හැකි විය යුතු සහ යම් අක්‍රමිකතාවක් තිබේ නම් ඒ සඳහාද ක්‍රියාමාර්ග ගැනීමට අවකාශය තිබිය යුතුය. 

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ අවස්ථාවේදී එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ නමුත් අධිකරණයේ තීරණය මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත. 

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකමුතුව, ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ මූල්‍ය නියාමනයේ අවශ්‍යතාවය තරයේ අවධාරණය කරන අතරම, පනත් කෙටුම්පතේ ඉහත සඳහන් අඩුපාඩු  නිවැරදි කරන ලෙසත්, මෙම නිතිය අනිසි ලෙස කඩිනම් නොකර, මහජනතාවගේ අදහස්ද විමසන ලෙසත් රජයෙන් ඉල්ලා සිටී.    

දුර්වල නියාමන පද්ධතියක් හරහා ජනතාව ලාංකීය දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය තව දුරටත් පිරිහෙන අතර, මැතිවරණ ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය ද අභියෝගයට ලක් විය හැකි බැවින් මෙම නිතිය හඳුන්වාදීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි වේ. 

මැතිවරණ ප්‍රචාරණ මූල්‍ය නීතියක් හඳුන්වාදීම, ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට කිසිසේත් හේතුවක් කර නොගත යුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකමුතුව තරයේ අවධාරණය කරයි.