බදුවලට එරෙහිව වෛද්‍යවරු සංඛේත වර්ජනයක

බදුවලට එරෙහිව වෛද්‍යවරු සංඛේත වර්ජනයක

ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරන අසාධාරණ සහ ජන පීඩක බදු ප්‍රතිපත්තියේ හානිකර ප්‍රතිඵල මෙන්ම ඖෂධ අර්බුදය නිසා මෙරට සෞඛ්‍ය සේවා මුහුණ දී ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07) දින පැවැති අතර, එහිදි ගත් තීරණයක් අනුව හෙට 08) දින පෙරවරු 8.00 සිට (09) දින පෙරවරු 8.00 දක්වා පැය විසිහතරක සංඛේත වැඩවර්ජනයක් සිදුකරන අතර, එය අමතරව පත සඳහන් තීරණ වලට එළෙඹන බව නිකු කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයට අනුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මාධ්‍යම කාරක සභාවේ පහත කරුණු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තීරණ ගත් බවයි.

  1.  ඖෂධ හිඟයත්, ඖෂධ වල මිල ඉහළ යෑමත් හරහා ජනතාවට මුහුණපෑමට සිදුවී ඇති පීඩාවන් මෙන්ම දිනෙන් දින ඉහළ යන දූෂණ වංචා සහ අක්‍රමිකතා
  2. අසාධාරණ බදු ක්‍රමය හරහා ඉහළ යන බුද්ධිගලනයෙන් රටට සිදුවන හානිය සහ සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුලු  වෘත්තීයවේදීන් ඉදිරිපත් කළ යෝජනාවන් කෙරෙහි ආණ්ඩුව කිසිදු නම්‍යශීලීතාවයක් හෝ සංවේදීතාවයක් නොදැක්වීම
  3. ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින වෘත්තිකයින්ගෙන් සහ ජනතාවගෙන් කැපකිරීම් සිදු කරන්නට ඉල්ලීම් කරමින්, නිදහස් උත්සවය මෙන්ම හිටපු ජනාධිපතිවරුන්, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව වැනි ආයතන සඳහා  විනාශකාරී සහ අනර්ථකාරී වියදම් තව තවත් ඉහළ නැංවීම
  4. තම ගජ මිතුරන් විසින් සිදුකර ඇති මහා පරිමාණ වංචා දූෂණ හරහා රටට අහිමි වී ඇති බිලියන ගණනක මුදල් නැවත අය කරගැනීමට වැඩ පිළිවෙළක් සකස් නොකිරීම සහ එම මුදල් මහජන සුබ සිද්ධිය සඳහා යෙදවීමේ පාරදෘශ්‍ය වැඩපිළිවෙළක් සකස් නොකිරීම.

ජනපීඩක බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනයේ දී එනම් පෙබරවාරි 8 වැනිදා මෙරට වෘත්තීයවේදීන් දසදහස් ගණනක් කොළඹ හයිඩ් පිටියට පැමිණීමට නියමිතය.

එමෙන්ම වෛද්‍ය වෘත්තියට සම්බන්ධ අනෙකුත් සියලු වෘත්තිය සමිති සහ විද්‍යායතන සමග එක්ව හෙට දිනයේ දී හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් සියලු පෞද්ගලික වෛද්‍ය සේවා වලින් ඉවත් වීමට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ වන විට තීරණය කර ඇත.

වත්මන් ආණ්ඩුව විසින් ඖෂධ අර්බුදයට විසඳුම් ලබා දීමට මැදිහත් නොවීමත්, වෘත්තියවේදීන් රටින් පලවා හරින අසාධාරණ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමට නම්‍යශීලී නොවීමත්, ජනතාව පීඩා විඳින මොහොතක   විනාශකාරී වියදම් සීමා කිරීමට කටයුතු නොකිරීමත් සහ දිගින් දිගටම තම ගජ මිතුරන්ගේ සහ දේශපාලන සගයින්ගේ වංචා දූෂණ වසා දමා ඔවුන්ට බදු සහන ලබාදීමත් යන කරුණු වලට විරෝධය පළකරමින්, හෙට දිනයේ එනම් පෙබරවාරි 08 වෙනිදා උදෑසන 08 සිට ඊට පසු දින උදෑසන 08 දක්වා පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් රජයේ රෝහල් පද්ධතිය තුළ දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කරන ලදී.

මෙම වර්ජන කාල සීමාව තුළ හදිසි ප්‍රතිකාර සේවා කිසිසේත් සීමා කිරීමක් සිදු නොවන අතර හදිසි සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනු ලබනු ඇත.

එමෙන්ම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක දි සාම්ප්‍රදායිකව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව ළමා රෝහල්, මාතෘ රෝහල්, පිලිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල සහ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයන්හි මෙම් වර්ජනය ක්‍රියාත්මක නොවනු ඇත.

අපගේ අරමුණ වුයේ ජනතාවට අවම පීඩාවක් වන අයුරින් මෙම ගැටලු විසඳා ගැනීමයි.  ආණ්ඩුව සහ බලධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා කළත්, මෙම ගැටලු විසඳීම සඳහා ඔවුන් කිසිදු සාධනීය මැදිහත්වීමක් හෝ සංවේදීතාවයක් නොදැක්වීම අතිශය කණගාටුදායකය.

බලධාරීන්ගේ  නිද්‍රාශීලී සහ වගකීම් විරහිත ක්‍රියාපිළිවෙත හේතුවෙන් හෙට දිනයේ දී ජනතාවට සිදුවන පීඩාවන්ට වගකිව යුත්තේ ද වත්මන් ආණ්ඩුව සහ බලධාරීන්මය.

එබැවින් දැන්වත් ජනතාවගේ ජීවිත සහ රටේ අනාගතය ගැන සිතා නිවැරදි තීරණවලට එළඹීම පාලකයින්ගේ වගකීමයි.

තවදුරටත් මෙම වගකීම් විරහිත ක්‍රියා පිළිවෙතින් මිදී, ගැටලු වලට විසදුම් ලබා දීමට පාලකයින් නම්‍යශීලී නොවන්නේ සියලු වෘත්තීයවේදීන් සමග එක්ව මීට වඩා දැඩි ක්‍රියාමාර්ග වුවද ගැනීමට සිදුවනු ඇත.