අපේක්ෂා රෝහලේ ඖෂධ හොරකමක්

අපේක්ෂා රෝහලේ ඖෂධ හොරකමක්

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ඖෂධ එන්නත් තොගයක් අළෙවි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහා සොයා බලා ඉතා කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙත උපදෙස් ලබා දුන්නේය.

එහි පරීක්ෂණ වාර්තාව අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව නීත්‍යානුකූල හා විනායානුකූල ක්‍රියාමාර්ග ගැනීමටත් යළි එවැනි තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් රඹුක්වැල්ල මහතා අමාත්‍යංශ ලේකම් වෙත උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ පැවැත්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන අංශය, හදිසි වැටලීම් අංශය යන අංශ වලින් සමන්විත පරීක්ෂණ කණ්ඩායම් දෙකක් අද දිනයේම ඒ සදහා යොමු කල බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා පෙන්වා දෙයි. එමෙන්ම එයට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් වන මුලික විමර්ෂණ වාර්තාවක් දිනක් ඇතුළත අමාත්‍යංශය වෙත ලබා දෙන ලෙස මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා වෙත අමාතංශ ලේකම් විසින් උපදෙස් ලබා දී තිබේ.

මේ අතර මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් දැඩිව සොයා බලා තරාතිරම නොබලා ඒ වෙනුවෙන් ගත හැකි නීත්‍යානුකූල හා විනයානුකූල ක්‍රියාමාර්ග උපරිමයෙන් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යංශ  ලේකම් වෙත උපදෙස් ලබාදුන් අතර ඒ සදහා විශේෂිත කණ්ඩායමක් හෝ කණ්ඩායම් කිහිපයක් යොදවන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.