බරවා රෝගය ගැන අනතුරු ඇඟවීමක්

බරවා රෝගය ගැන අනතුරු ඇඟවීමක්
  • 2030 වසරේදී ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික බරවා  මර්දන ව්‍යාපාරයේ අපේක්ෂාවයි.

බරවා රෝගය තවමත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටලුවක් බව ජාතික  බරවා  මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි. කෙසේ වෙතත් 2030  වසරේදී ශ්‍රී ලංකාවෙන්  බරවා රෝගය තුරන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරවා මර්දන ව්‍යාපාරයේ අපේක්ෂාව බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

පසුගිය 2022 වසරේදී නව රෝගීන් 400 ක් හමුවී තිබේ . බරවා රෝගය නිසා පාද ඉදිමුණු ඉදිමුනු පුද්ගලයින්  600 ක් හමුවී තිබේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 08 ක තව දුරටත් බරවා ව්‍යාප්ත වෙමින් පවතී. එම දිස්ත්‍රික්ක වන්නේ කොළඹ , කළුතර, මාතර, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, පුත්තලම හා කුරුණෑගලයි.

රාත්‍රී කාලයේ පුද්ගලයින්ගේ රුධිරය පරීක්ෂා කර  බරවා රෝගය හදුනා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම, අවදානම් ප්‍රදේශවල නිවෙස් වල සිටින මදුරුවන් අල්ලා පරීක්ෂා කිරීම, පාද ,අත් ඉදිමෙන රෝගීන් හදුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දීම තව දුරටත් සිදු කරගෙන යනු ලැබේ.

බරවා මදුරුවා සොයා නිවසට එන සෞඛ්‍ය නිලධාරීන්ට මහජන සහාය අත්‍යවශ්‍ය බවද අධ්‍යක්ෂවරයා පවසයි. තම තමන්ගේ ප්‍රදේශවල රාත්‍රී කාලයේ බරවා රෝගය වෙනුවෙන් රුධිරය පරීක්ෂා කිරීමේ වැඩසටහන් මෑතකදී නොපැවැත්වූයේ නම් ලඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට , ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හෝ බරවා මර්දන ව්‍යාපාරයට දන්වා එම පරීක්ෂාකර ගැනීම් සිදු කර ගන්නා ලෙස වෛද්‍ය රත්නායක මහතා ඉල්ලා සිටී.

කෙසේ වෙතත් ඔහු පවසන්නේ දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ බරවා රෝග නිවාරණය හා ලේ පටල ලබා ගැනීමට සෞඛ්‍ය කාර් ය මණ්ඩල පැමිණෙන්නේ නිල ඇදුමින් ,රාජකාරි හැදුනුම්පත සහිතව බවද බරවා මර්දන වයාපාරයේ අධ්‍යක්ෂවරයා කියා සිටී. රාත්‍රී කාලයේ රුධිර පටල ගැනීමට පෙර දිවා කාලයේ අනිවාර්යයෙන්  දැනුම් දීමක් සිදු කරන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියේ (2023.02.22) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ජානක සුනෙත් බණ්ඩාර