අසාධාරණ සෞඛ්‍ය සේවක වැටුප් කප්පාදුවට එරෙහිව විරෝධය

අසාධාරණ සෞඛ්‍ය සේවක වැටුප් කප්පාදුවට එරෙහිව විරෝධය

බිඳ වැටෙමින් පවතින ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව තවත් අස්ථාවර කිරීමට හේතුවන අසාධාරණ වැටුප් කප්පාදුව වහාම ආපසු හැරවීමට අසමත් වන්නේ නම්, සියලුම සෞඛ්‍ය සේවකයින් සමග එක්ව මෙම වැටුප් කප්පාදුවට එරෙහිව කොන්දේසි විරහිතව සමස්ත රෝහල් පද්ධතියම අකර්මණ්‍ය විය හැකි දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹීමට කිසිසේත්ම පසුබට නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

වේගයෙන් ඉහළ යන ජීවන වියදමත්, පවතින ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයත් හමුවේ ජනතාව මෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් ද පීඩාවට පත්ව ඇත්තේ, ඔවුන්ද සාමාන්‍ය ශ්‍රී ලාංකීය පුරවැසි සමාජයේම කොටසක් බැවිනි.

මෙම අර්බුදයන්හි වින්දිතයන් බවට පත්ව සිටින වෛද්‍යවරුන්, ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරන නව අසාධාරණ බදු සංශෝධන හරහාද තවත් දැඩි අසීරුතාවයකට ලක්ව ඇත.

මෙම සියලු දුෂ්කරතා හමුවේ වුවද, ඖෂධ අර්බුදය පවා කළමනාකරණය කරගනිමින් රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම තුළින් මෙරට අහිංසක ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරලීම උදෙසා වෛද්‍යවරුන් අපරිමිත කැප කිරීමක් සිදුකරන බව අවිවාදිතය.

මෙබඳු වාතාවරණයකදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2023.02.13 දින නිකුත් කරන ලද චක්‍රලේඛයක් හරහා වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවකයින්ගේ වැටුපෙන් 15% ක ප්‍රමාණයක් කප්පාදු කිරීමට උපදෙස් ලබා දී ඇත.

මීට පෙර ද මෙවන් ගැටලුවක් මතු වූ අවස්ථාවකදී සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් කිසිසේත් සිදු නොකරන බව ජනාධිපතිතුමා තහවුරු කර තිබියදී මෙන්ම, මුදල් අමාත්‍යංශය මගින් පසුගිය දිනවල දී නිකුත් කරන ලද වියදම් කළමනාකරණය පිළිබඳව වන මාර්ගෝපදේශයන්හි, සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම සඳහා ලබා දෙන අරමුදල් කිසිසේත්ම කප්පාදු නොකරන බව යලිත් තහවුරු කර තිබියදීත්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම තීරණය අතිශයින් ප්‍රශ්නකාරීය.

සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙම අත්තනෝමතික සහ අසාධාරණ තීරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවාවේ සියලුම ක්ෂේත්‍රයන්ට අදාළ සෞඛ්‍ය සේවකයින් අතර දැඩි නොසන්සුන්තාවයක් මතුව ඇත.

2023.02.15 දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම අයුක්ති සහගත තීරණය සම්බන්ධයෙන් දැඩි ලෙස සාකච්ඡාවට ලක්විය.

ඒ අනුව,

  • මේ වන විටත් ලබාගෙන ඇති බැංකු ණය සඳහා වන පොලී අනුපාතික සහ මාසික වාරික විශාල වශයෙන් ඉහළ යාම
  • අසාධාරණ සහ ජන පීඩක බදු ප්‍රතිපත්තිය හේතුවෙන් සිදු වන වැටුප් කප්පාදුව
  • අධි උද්ධමනයත්, ජීවන වියදම ඉහළ යාමත් හේතුවෙන් මුදලේ වටිනාකම අඩු වීම

යන සාධක හේතුවෙන් ආර්ථික සහ මූල්‍ය අර්බුදයට ලක්ව ඇති වෛද්‍යවරුන් මෙම අසාධාරණ 15%ක වැටුප් කප්පාදුව හරහා තවත් පීඩාවට පත්වන බව සාකච්ඡා විය.

එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ මාර්ගෝපදේශයන් ට අනුකූලව සිදු කිරීමට උත්සාහ දරන මෙම අසාධාරණ වැටුප් කප්පාදුවට කිසිසේත්ම  එකඟ විය නොහැකි බවත්, ඊට එරෙහිව විරෝධය දැක්විය යුතු බවත් මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය විය.

බිඳ වැටෙමින් පවතින ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව  තවත් අස්ථාවර කිරීමට හේතුවන මෙම අසාධාරණ වැටුප් කප්පාදුව වහාම ආපසු හැරවීමට අසමත් වන්නේ නම්, සියලුම සෞඛ්‍ය සේවකයින් සමග එක්ව මෙම වැටුප් කප්පාදුවට එරෙහිව කොන්දේසි විරහිතව සමස්ත රෝහල් පද්ධතියම අකර්මණ්‍ය විය හැකි දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹීමට කිසිසේත්ම පසුබට නොවන බව ද අවධාරණය කරමු.