ලෝක බැංකුව ශ්‍රී ලංකාව තීරණාත්මක තැනක බව කියයි

ලෝක බැංකුව ශ්‍රී ලංකාව තීරණාත්මක තැනක බව කියයි

‍2022 වර්ෂය තුළ මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට පමණ අවම වශයෙන් රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව පවසයි.

ඉන් වැඩිදෙනෙකු කර්මාන්ත සහ සේවා අංශවල රැකියා කරන කාන්තාවන් බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීක තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කරමින් මේ බව පෙන්වා දී තිබේ.

එම වාර්තාවට අනුව 2021 සහ 2022 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය ආසන්න වශයෙන් සියයට 13 සිට සියයට 25 දක්වා වැඩි වී ඇති බව සඳහන් ය.

එම කාල රාමුව තුළ නාගරික දරිද්‍රතාවය ද සියයට 5 සිට සියයට 15 දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

දැනටමත් දුප්පතුන් ලෙස වර්ගීකරණය කර ඇති පුද්ගලයින්ගේ ජීවන වියදම සියයට 65කින් ඉහළ ගොස් ඇති අතර දිළිඳු නොවන පුද්ගලයින් සඳහා එම වැඩිවීම සියයට 57ක් වී තිබේ.

ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ තීරණාත්මක මොහොතක පසුවන බවත් වසර ගණනාවක වැරදි ආර්ථික කළමණාකරණය, දුර්වල පාලනය, දුර්වල ප්‍රතිපත්ති තේරීම්, කොවිඩ් වසංගතය සහ රුසියානු යුක්‍රේන ගැටුම් වැනි බාහිර කම්පනවල බලපෑම වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට නව සංවර්ධන ආකෘතියක් අවශ්‍ය බවට පවතින අර්බුදය මනාව පෙන්නුම් කරන බැවින් ආර්ථිකයේ නිවැරදි සමතුලිතතාවයක් ඇතිකර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට උපකාර කළයුතු බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් පවසයි.

ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දැක්වීමට ලෝක බැංකුව දැනටමත් කටයුතු කරමින් සිටින අතර පවතින මුදල් හුවමාරු වැඩසටහන් ප්‍රතිනිර්මාණය කිරීමට සහ අවශ්‍යතා ඇති අයට මුදල් ආධාර සැපයීමට පියවර ගෙන ඇති බව මාටින් රයිසර් පෙන්වා දී තිබේ.

වෙළෙඳ පිරිවැය අඩුකිරීම, පුද්ගලික අංශයට අයෝජනය කිරීම පහසු කිරීම, ශක්තිමත් මූල්‍ය අධීක්ෂණය සහ ණය කළමනාකරණය තුළින් අතීත වැරදි නැවත සිදුවීම වළක්වා ගැනීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමට හැකියාව පවතින බව ලෝක බැංකුව වැඩිදුරටත් සිය වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

(aruna)