රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සේවා ව්‍යවස්ථාව ගේන්න සූදානම්

රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සේවා ව්‍යවස්ථාව ගේන්න සූදානම්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවා ව්‍යවස්ථාව කඩිනමින් ස්ථාපනය කිරීම සඳහා දෙපාර්තමේන්තු මට්ටමින් කමිටුවක් ස්ථාපිත කිරීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. 
 
ඒ අනුව අදාළ කමිටුව පිහිටුවීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත විසින් පවසා ඇත.
 
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පවසා ඇත්තේ  රෙජිස්ට්‍රාර් ජනරාල් ධුරයට අභිනවයෙන් පත්වූ සමන්ත විජයසිංහ මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
 
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවා ව්‍යවස්ථාව සකස් කර වැටුප් සේවා කොමිෂන් සභාව වෙත දැනටමත් ඉදිරිපත් කර තිබෙන අතර, එය කඩිනම් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළත් කමිටුවක් පිහිටුවන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.
 
සේවා ව්‍යවස්ථාව පිහිටුවීමෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා නියමිත උසස්වීම් පටිපාටි සහ වැටුප් විෂමතා ගැටලු නිරාකරණය වනු ඇතැයි එහි සේවක සේවිකාවන් විශ්වාසය පළකරයි.
 

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආනන්ද වන්නිනායක, ප්‍රභාත් අබේවර්ධන (හිටපු රෙජිස්ට්‍රාර් ජනරාල්) නව රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ මහත්වරු සහ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.