අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කාන්තාවන් මුහුණ දෙන පීඩාවන් සහ ගැටළු

අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කාන්තාවන් මුහුණ දෙන පීඩාවන් සහ ගැටළු

රට තුළ සැම විටෙකම සැම අවස්ථාවකම කිසිදු ආකාරයකට රජය හෝ බලධාරීන් සැලකිල්ලට ගනු නොලබන මෙරට ගෘහ සේවකයන් ඇතුළු අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කාන්තාවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධ අදහස් දක්වන ප්‍රොටෙක් වෘත්තීය සමිතිය විසින් මාධ්‍ය සාකච්ඡාවක් ජාත්‍යන්තර කාන්තා දිනය මුල්කරගෙන මාර්තු (08) දින කොටුව ගුරු මැදුරේදී පැවැත්විණි.

එහිදි එම වෘත්තිය සමිතියේ සාමාජිකාවන් අදහස් දක්වමින් කියා සිටීයේ, මෙරට සමස්ත ජනගහනයෙන් 52%ක් ඉක්මවා ප්‍රතිශතය කාන්තාවන් වන අතර සමස්ත ශ්‍රම බලකායෙන් 35% ක් ඉක්මවා කාන්තාවන් මෙරට ආර්ථිකයට තම දායකත්වය සපයයි. එසේම මෙරට රැකියා නියුක්ත ජනගහනයෙන් 65% ක් ඉක්මවා අවිධිමත් අංශයේ රැකියාවල නියුතුව සිටින අතර එහි ද සැලකිය යුතු පිරිසක් කාන්තාවන් වේ.

පවතින ආර්ථික අර්බූය සහ රජයේ අක්‍රමවත් ක්‍රියාකලාපයන් හමුවේ අවිධිමත් අංශයේ කාන්තාවන් මුහුණදෙන ගැටළු, අවිධිමත් අංශයේ කාන්තාවන් සේවා ස්ථානයේ මුහුණ දෙන ගැටළු, හිංසනයන්, අවිධිමත් අංශයේ කාන්තාවන් සමාජය සහ පවුල තුළ මුහුණ දෙන ගැටළු, හිංසනයන් සහ පීඩාවන් හා එම ගැටළු සමාජය තුළ සංවාදයට ගැනීම සඳහා ජාත්‍යන්තර කාන්තා දිනයේ වැදගත්කම පිළිබඳව මෙහිදී අදහස් දක්වන ලදී. 

එහිදී රට තුළ පවතින ආරථික සහ සමාජයීය අර්බුධයේ ගොදුරු බවට පත්ව තම ජීවිකාව සිදු කළ නොහැකිව මුහුණ දී ඇති ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස ඔවුන් රජයෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම ආර්ථික අර්බුධයට මුහුණ දීමට තරම් ශක්තියක් තවත් නොමැති බවත් ඔවුන්ට ඉතිරිව ඇත්තේ දරුවන් සමග සියදිවි නසා ගැනීම පමණක් බවද ඔවුන් ප්‍රකාශ කරන ලද අතර, ආණ්ඩුව විසින් දිගින් දිගටම උද්ගෝෂණ වලට පහර දුන්න ද ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට උත්තර නොදෙන විට ජනතාවට පාරට බහින්න සිදුවන බව වැඩිදුරටත් අදහස් දක්වමන් ප්‍රකාශ කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සඳහා ප්‍රොටෙක් වෘත්තීය සමිතියේ කොළඹ සහ ලක්ෂපාන සංවිධායකයින් සහ සාමාජිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.