වර්ජනයට මුවා වූ කුමන්ත්‍රණවලට හසුවෙනු එපා-බැංකු සේවකයින් කියයි

වර්ජනයට මුවා වූ කුමන්ත්‍රණවලට හසුවෙනු එපා-බැංකු සේවකයින් කියයි
වර්ජනයක් මුවාවෙන් එම ජාතික සම්පත විනාශ කිරීමට ගෙනයන කුමන්ත්‍රණවලට හසුනොවන මෙන් ලංකා බැංකු සේවක සංගමය ගනුදෙනුකාර භවතුන්ගෙන් ඉල්ලා සිටියි.
 
ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා‌ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
 
එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.
 
 
අප සංගමයට අයත් රාජ්‍ය, පුද්ගලික, දේශීය, විදේශීය බැංකු 17 ක සාමාජිකත්වය මාර්තු 15 දින වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත විය. වෘත්තිකයින්ට පනවා ඇති අසාධාරණ බදු සංශෝධන කරගැනීම සහ රටේ බදු ප්‍රතිපත්තිය නිවැරදි කිරීම අරමුණු කොට එම ක්‍රියාමාර්ග දියත් කරන ලදී. මේ වනවිට එම ක්‍රියාමාර්ග පදනම් කොට ලබාදුන් එකඟතාවයක් මත අවසන් විසඳුමක් ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මට්ටමින් සාකච්ඡාවක්ද සිදුවෙමින් පවතී. 
 
එවන් පසුබිමක් තුළ වර්ජනයේ නිරතවූ අප සාමාජික එක බැංකුවක් ඉලක්ක කර රාජ්‍ය, සංස්ථා, පුද්ගලික ගිණුම් ඉවත් කරගන්නා බවට මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ. අප සංගමය නියෝජනය කරන සියලු බැංකු වර්ජනයක නිරත වූ අතර, එක් දිනක් තුළ සේවා අඩපණ වුවද අනිකුත් සියලු දිනවල මෙම සේවා අඛණ්ඩව ලබාදෙන තත්වයක් පවතින බැවින් එක් බැංකුවකට එරෙහිව මෙවන් තත්වයක් නිර්මාණය කිරීම හුදෙක් වර්ජනය පිළිබඳ ගැටලුවක් නොව වෙනත් කිසියම් පරාමාර්ථයක් උදෙසා බව පෙනීයයි. විශේෂයෙන්ම රාජ්‍ය බැංකු පුද්ගලිකකරණයට ගෙනයාමට පවතින විවිධ උත්සාහයන් එම බැංකුවල විවිධ තනතුරු ඩැහැගැනීමට යම් යම් පාර්ශවයන් අතර පවතින තරඟයන් මේ සඳහා බලපා ඇතැයි අප සැක කරමු. 
 
අප මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතවූයේ අප සාමාජිකයින් වෙනුවෙන් පමණක් නොව, රටේ විවිධ ක්‍ෂේත්‍රවල වෘත්තින්හි නිරතවන අපගේම වට්නා ගණුදෙනුකරුවන් වන වෘත්තිකයින්, එසේම සාධාරණ බදු ප්‍රතිපත්තියක් අපේක්‍ෂා කරන සංස්ථාපිත ආයතන, මෙම බදු ප්‍රතිපත්තිය මතින් පීඩනයට ලක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙනි. එසේම මහජන බැංකුව රජයටත්, රටටත්, ආර්ථිකයටත් සුවිසල් සේවයක් කරන ජාතික සම්පතකි. එබැවින් වර්ජනයක් මුවාවෙන් එම ජාතික සම්පත විනාශ කිරීමට ගෙනයන මෙවැනි කුමන්ත්‍රණවලට හසුනොවන මෙන් මහජන බැංකුවේ ගණුදෙනුකාර ප්‍රජාව හා සමස්ත ජනතාවගෙන් අප සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.