පළාත් පාලන මැතිවරණයේ රාජ්‍ය සේවයේ අපේක්ෂකයින් හට සහන ඉල්ලයි  

පළාත් පාලන මැතිවරණයේ රාජ්‍ය සේවයේ අපේක්ෂකයින් හට සහන ඉල්ලයි  

මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින සියලූ රාජ්‍ය සේවකයින් මුහුණ දෙන බලවත් දුෂ්කරතාවන් ද සැලකිල්ලට ගනිමින් මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා ඔවුනට සහන සැලසීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන මෙන් ඉල්ලා සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

දේශපාලන අයිතිවාසිකම් ඇති රාජ්‍ය සේවකයින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ රට තුළ නීතිගතව ඇති ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ තුළයි. මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ද රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන්නේ ඊට අනුවය. ඒ තමන් හට ජීවත් වීමට ඇති වැටුපද අදාල කාලය තුල අහිමි කර ගනිමින් අතිමහත් දුෂ්කරතාවන් මධ්‍යයේය.

එහෙත් මේ වනවිට නාම යෝජනා කැඳවා මාර්තු 09 දිනට දින නියම කර තිබූ පළාත් පාලන මැතිවරණය එහි කටයුතු සැලකිය යුතු කාලයක් ඉදිරියට ගමන් කළ පසුව අප්‍රේල් 25 දිනට කල් දමා ඇත. එම දිනයේදී ද මැතිවරණය පැවැත්වීම පිළිබඳව ඇත්තේ අවිනිශ්චිතතාවයකි.

ඒ හේතුවෙන් මැතිවරණයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් වැටුප් අහිමිවන කාලය දීර්ඝ වෙමින්, බලවත් අර්බුදයන් රාශියකට මුහුණ දෙමින් සිටී. රටෙහි භාණ්ඩ හා සේවා මිල දරාගත නොහැකි මට්ටමක පවතින, වැටුප් ලබමින් පවා ජීවත් වීම අභියෝගයක්ව පවතින තත්වයක දී, වැටුප් නොලබන කාලය දිනකින් හෝ දීර්ඝ වීම යනු, අපේක්ෂකයන්ට පමණක් නොව, ඔවුන්ගේ දරු පවුල් වලටද තීරණාත්මකව බලපාන කරුණකි.

එසේ හෙයින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, නීතිමය සීමාවන් තුළ කටයුතු කරන අපේක්ෂකයින්, ඔවුන්ගේ පාලන සීමාවන්ගෙන් ඔබ්බට වූ සාධක මත මැතිවරණ කල් යාමේ වගඋත්තරකරුවන්ව තව තවත් දුෂ්කරතාවන්ට හා පීඩාවන්ට පත් නොවිය යුතුය. එම දුෂ්කරතාවන්ගෙන් මිදීමට ඔවුනට සහන සැලසීමට ක්‍රියා කළ යුතුය.

මෙවැනි අවස්ථාවන්හි දී සහන සැලසීමට කටයුතු කිරීම පිළිබඳ පූර්වාදර්ශයක් 2019.07.19 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ තීරණයන්ට අනුව, අංක EST-3/POLIC/04/0033 හා 2019.08.20 දිනැතිව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම් විසින් නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/2019 මගින් ලබා දී ඇත.

මෙම කරුණුද, මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින සියලූ රාජ්‍ය සේවකයින් මුහුණ දෙන බලවත් දුෂ්කරතාවන් ද සැලකිල්ලට ගනිමින් මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා ඔවුනට සහන සැලසීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.