අභියෝග සමග ඇරඹි 2022 වසර
2022 වසර ආරම්භ වූයේම ශ්‍රී ලංකාවට ඉතාමත් අර්බුද රාශියක් සමගය. නාමික නිදහසින් පසු මෙරට ආර්ථිකයේ මෙන්ම සමාජයීය හා දේශපාලනික අර්බුදයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 2022 වර්ෂය හැඳින්විය හැක. නිදහසින් පසු වරින් වර පත්වූ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති මත ක්‍රමිකව අර්බුදයට යමින් තිබී 2020-2021 වසරවල ඇතිවූ කෝවිඩ් - 19 ව්‍යසනයත් නිසි ආර්ථික හා දේශපාලන කළමනාකරණයක් ලබානොදීම තුළ විදේශ වත්කම් සිඳීයාමත් හේතුවෙන් මුළු රටම කණපිට හැරෙන්නට විය. රටේ සමස්ත ජනතාවට එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම් පවා සපයා ගැනීමට නොහැකි විය. තිබෙන සම්පත් පවා කළමනාකරණයකර ගැනීමට රාජ්‍ය පාලකයෝ අසමත් විය. ජීවන බරෙන් හා බලශක්ති අර්බුදයෙන් පීඩා විඳි සාමාන්‍ය ජනතාවගේ පීඩනය අවසානයේ මහජන අරගලයක් ලෙස පුපුරා යන්නට විය.
සාමාන්‍ය ජනතාවගේම කොටසක් වූ බැංකු සේවකයන් නියෝජනය කළ අප සංගමය විසින් ද මාතෘභූමියේ ගමන්මග නිවැරදි දිශානතියකට යොමු කිරීම උදෙසා මතවාදීව හා ක්‍රියාකාරී ලෙස අරගලයට පණ පොවන ලදී. එහිදී හුදු දේශපාලන අරමුණකින් තොරව වැඩ කරන පන්තිය නියෝජනය කරමින් අප සංගමය විසින් ඉටු කරන ලද කාර්යභාරය ඉතිහාස පොත්වල මේ වනවිටත් සනිටුහන් වී හමාරය.
ආර්ථික අර්බුදයකදී දැඩිව බලපෑම් එල්ලවන බැංකු ක්‍ෂෙත්‍රය තවදුරටත් සුරැකිව තබා ගැනීමටත් කිසිදු සේවක අයිතිවාසිකමක් කප්පාදුවකින් තොරව පවත්වා ගැනීමටත් හැකිවී තිබෙනුයේ අප සංගමයේ ඉමහත් දායකත්වය හා පරිශ්‍රමය තුළය.
එමෙන්ම රාජ්‍ය බැංකු පද්ධතිය පෞද්ගලීකකරණය කිරීම සඳහා යෝජනා කරලියට පැමිණෙමින් තිබෙන කාලවකවානුවක එය තීරණාත්මකව පරාජය කිරීමට සංගමය නායකත්වය ලබාදෙමින් ඇත. රාජ්‍ය බැංකු පෞද්ගලීකකරණය කිරීම තුළින් ආර්ථික අර්බුදය සඳහා විසඳුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බව පෙන්වීමට උත්සාහ ගත්ත ද ආණ්ඩුවේ ඇත්ත උවමනාව තම ගජ මිතුරන්ට මෙරට ජනතාවගේ බැංකු කොටස් ලබාගැනීමට ඉඩ හසර විවරකර දීම යන සත්‍යය, සමාජය හමුවේ හෙළිදරව් කිරීමටත් අප සංගමය මේ වනවිටත් කටයුතු කරමින් සිටී.
එමෙන්ම ද්‍රවශීලතාව, අක්‍රමික ණය වැනි ගැටලු රාජ්‍ය, පෞද්ගලික භේදයකින් තොරව සමස්ත බැංකු පද්ධතියටම බලපාන බවත්, විසඳුම විය යුත්තේ රාජ්‍ය බැංකු පෞද්ගලීකකරණය කිරීම නොව රටේ ආර්ථිකයේ මතුව ඇති ගැටලු සඳහා පොදුවේ විසඳුම් ලබා දීම බවත් සියලු බලධාරින් වෙත සංගමය මේ වන විටත් අවධාරණය කර ඇත.
2022 වසර අගභාගය වනවිට ඉතාමත් අත්තනෝමතික ලෙස රජය විසින් ස්ථාපිත කරන ලද බදු සංශෝධනවලට වෘත්තිකයින් ඇතුළු වැඩ කරන ජනතාවට එකඟවිය හැකි පරිදි එම බදු යෝජනා සංශෝධනය කරවීමට සංගමය ඉමහත් කාර්යභාරයක් මේ වන විටත් සිදු කරමින් සිටී. විටක මතවාදීව සාමාජිකත්වය හා සමාජය දැනුමෙන් සන්නද්ධ කරන අතරතුර බොරු නින්දට වැටී සිටි පාලකයන් එම නින්දෙන් අවදිකරවීමේ සටන්වලට පණ පොවමින් ද ඒ තුළ සාමාජිකත්වයට උපරිම සාධාරණයක් ලබාදීමට කටයුතු කරමින් සිටී.
මේ ආකාරයෙන් සාමාජික සුරක්‍ෂිතතාව, බැංකු පද්ධතියේ ආරක්‍ෂාව මෙන්ම සමස්ත වැඩ කරන ජනතාව වෙනුවෙන් රටට නිවැරදි මගපෙන්වීමක් කරමින් කටයුතු කරන අතරතුර සාමාජික සුභසාධනය කෙරෙහි ද අප සංගමය ඉමහත් කාර්යභාරයක් සිදුකර ඇත.
වසර 80 ක් පුරාවට ශ්‍රී ලාංකීය බැංකු පද්ධතියත්, බැංකු සේවකයනුත් ආරක්‍ෂා කරන ලද, වර්තමානය මෙන්ම අනාගතයේදී ද එම කාර්යය නොපිරිහෙලා ඉටුකරනු ලබන දැවැන්තම ස්වාධීන වෘත්තීය සංගමය වන ලංකා බැංකු සේවක සංගමයට 2022 වර්ෂයේ දී සාමාජික සුභසාධන යෝජනාක්‍රම යටතේ ප්‍රතිලාභ රැසක් ලබාදීමට හැකියාව ලැබුණි. එය මූල්‍යමය වශයෙන් ගත්විට රුපියල් මිලියන 20 ක් ඉක්මවා ගිය අගයක්ය. නමුත් එහි රුපියල් අගයට සීමා නොවුණු මානුෂීය වටිනාකමක් පවතින බව අපි තරයේ විශ්වාස කරමු.
වෘත්තීය සංගමයක දැවැන්ත සාමාජික ප්‍රතිලාභ
2022 වර්ෂයේ ජූලි මස 08 වැනි දින පැවැත්වූ සංගමයේ 13 වන ජාතික නියෝජිත සම්මේලනයේ දී මාතෘදාරක, ශිෂ්‍යත්ව ප්‍රදාන හා මරණාධාර යන සියලු දීමනා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ දැමීමට ඒකමතිකව අනුමත කරන ලදී.
මෙවැනි අභියෝගාත්මක කාලසීමාවක සේවක අයිතිවාසිකම් රකිමින්, බැංකු පද්ධතිය සුරක්‍ෂිත කරමින්, එල්ලවන දැවැන්ත අභියෝගයන්ට නොපැකිලව මුහුණ දෙමින් මෙවන් වූ සුවිශේෂී සුබසාධන ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබාදීමට හැකිවීම පිළිබඳව අප සංගමයක් ලෙස නිහතමානීව ආඩම්බර විය යුතුව ඇත. ඒ මක්නිසාද යත් අද අප රට තුළ මෙවැනි වූ කාර්යභාරයක් සිදුකළ හැකි එකම වෘත්තීය සංගමය වනුයේ ඔබ අප නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමය පමණක් නිසාවෙනි.
අතීතයේ සිට අද දක්වා සිදුකරන ලද පරිදි, ඉදිරි අනාගතයේදීත් සියලු ප්‍රතිලාභ ද, බැංකු පද්ධතිය ද ආරක්‍ෂාකර ගනිමින් ලංකා බැංකු සේවක සංගමයේ ධජය තව තවත් ඉහළට ඔසවා තබන්නට සමස්ත සාමාජිකත්වය කටයුතු කළ යුතුව ඇති බව පෙන්වා දෙමු.
බැංකු පද්ධතිය සුරකිමු - සේවක ප්‍රතිලාභ රැක ගනිමු ! ලංකා බැංකු සේවක සංගමය දිගුකල් දිනේවා !
