ස්ථිර තැපැල් ලිපින ඉල්ලා වතු කම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

ස්ථිර තැපැල් ලිපින ඉල්ලා වතු කම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

මෙරට වතු කම්කරුවන් සඳහා ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින ලබා දීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා වතු කම්කරුවකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මාවතගම, මුවන්කන්ද වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අමාත්‍ය ජීවන් තොන්ඩමන්, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නීතිපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම් කර තිබේ.

වතු කම්කරුවන්ට අභියෝග රැසක්...

පෙත්සම්කරු කියා සිටින්නේ ශත වර්ෂ කිහිපය තිස්සේ මෙරට වතු කම්කරුවන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අතර ඉඩම් හිමිකාරීත්වය අහිමිව තිබීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ය.

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ පුරවැසියෙකුට ජීවත්වීම සඳහා ඉඩමක හිමිකාරීත්වය තිබීම ප්‍රධාන අයිතිවාසිකමක් වශයෙන් සඳහන් කර ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එහෙත් මෙරට වතුකම්කරුවන් බහුතරයක් පෞද්ගලික සමාගම්වලට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම හේතුවෙන් ඔවුන්ට ඉඩම් හිමිකාරිත්වය අහිමි වී ඇති බව පෙත්සමේ දැක්වෙයි.

තමා පදිංචිව සිටින මුවන්කන්ද වතුයායේ වතු කම්කරු පවුල් 300ක් පමණ ජීවත්වන අතර ඒ කිසිවෙකුට ලියාපදිංචි තැපැල් ලිපිනයක් නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇත.

මේ නිසා වතුකම්කරුවන්ට තමන් පදිංචි ස්ථානවලට පෞද්ගලිකවම ලිපි ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු 277ක වතුකම්කරුවන් ලක්ෂ හතරක පමණ පිරිසක් වාසය කරන අතර ඒ කිසිවකුට පෞද්ගලික ලියාපදිංචි ලිපිනයන් නොමැති බවත් පෙත්සමේ දැක්වෙයි.

ඒ හේතුවෙන් ඡන්දය ලියාපදිංචි කිරීම, ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, මරණ සහතික ලබා ගැනීම, විභාග සඳහා ලියාපදිංචි වීම, පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීම, සමෘද්ධි වැනි සුබසාධන දීමනා ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීම වැනි කටයුතු ඉටුකර ගැනීමේදී වතු කම්කරුවන්ට දැඩි අසීරුතාවකට මුහුණ දීමට සිදුවන බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

 | මෙරට වතුකම්කරුවන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අතර ඉඩම් හිමිකාරිත්වය අහිමිව තිබීම ඒ අතර ප්‍රධාන තැනක් ගනියි

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලයි

මේ වන විට ශ්‍රී ලංකාව පුරා වතු කම්කරු පවුල් 244 500කට අයත් 966 700ක පිරිසක් සිටින අතර මොවුන් මෙම ගැටලුවලට මුහුණ දී පීඩාවට පත්ව සිටියි.

වතු කම්කරුවන් මෙරට විදේශ විනිමය උත්පාදනයට විශාල දායකත්වයක් ලබාදෙන අතර 2021 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් ද, 2022 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් ද උපයා ගැනීම සඳහා වතුකම්කරුවන් ප්‍රමුඛ දායකත්වයක් ලබාදී ඇති බවත් පෙත්සමේ දැක්වෙයි.

වතු කම්කරුවන්ගේ නිවෙස්වලට ලියාපදිංචි තැපැල් ලිපිනයන් ලබා නොදීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම වතු කම්කරුවන් පදිංචිව සිටින ස්ථාන සඳහා ඔවුන්ට පෞද්ගලික තැපැල් ලිපින ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

(bbc/sandeshaya)