නව ත්‍රස්ත විරෝධී පනතට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නොසතුටුයි

නව ත්‍රස්ත විරෝධී පනතට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නොසතුටුයි
යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිය නොසතුට පළ කර සිටියි.
 
එහි ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ ඩිප්‍රොස් මුචේනා ප්‍රමුඛ නියෝජිත පිරිස ඉකුත් 27 වැනි දා සිට අප්‍රෙල් 02 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් අනතුරුව ප්‍රකාශ කර ඇත්තේ යෝජිත ත්‍රස්ත විරෝධී පනතක් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල විය යුතු බවයි.
 
 තමාගේ නිල සංචාරය තුළ මෙරට දී දැඩි ලෙස මානව හිමිකම් කඩ වූ පිරිස් හමු වූ අතර ඔවුන් මුහුණ දී ඇති තත්ත්වය සමග තමා ඉතා කනගාටුවට පත්වන බවත්, එසේ ම රටේ ජනතාවගේ සාමකාමීව රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා වන අයිතිය තහවුරු කිරීමට සහ ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අඛණ්ඩව කටයුතු කරන බවත් ඔහු කියා සිටියි.
 
මේ අතර මෙරට පැවති සිවිල් යුධ සමය තුළ මානව හිමිකම් කඩවීම්වලට ගොදුරු වූවන් සහ බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද අය සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන ද අදාල ප්‍රජාව වෙත සත්‍ය, යුක්තිය සහ වන්දි ගෙවීම වෙනුවෙන් රජයට බල කළ යුතු බවත් හෙතෙම පෙන්වාදෙයි.
 
එපමණක් නොව ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දුන්නා වූ ණය සහන පැකේජය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා රජය වෙත මූල්‍ය සහන ලබා දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තම කණගාටුව පිරිනමන බවත්, ණය සහන ලබා දීමේ දී අවම වශයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබුණු බවත් හෛතෙම අවධාරණය කරයි.
 
ඒ අතරම ශ්‍රී ලාංකිකයන් ආර්ථික අර්බුදයක බලපෑම් අඛණ්ඩව විඳිමින් සිටින මොහොතක අත්‍යවශ්‍ය පොදු භාණ්ඩ හා සේවා සඳහා කප්පාදුවක් සිදු නොකළ යුතු බවත් පවසන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මූල්‍ය සහනය ලබා දිමේ තීරණය සම්බන්ධ ඕනෑ ම ගිවිසුමක්, නියමයන් සහ කොන්දේසි පාරදෘශ්‍ය භාවයට ලක් කළ යුතු බවයි.