පෙළපොත්, නිළ ඇඳුම් ලබාදී නොමැති බවට ලංකා ගුරු සංගමයෙන් චෝදනා

පෙළපොත්, නිළ ඇඳුම් ලබාදී නොමැති බවට ලංකා ගුරු සංගමයෙන් චෝදනා

2023 වර්ෂයේ පළමු පාසල් වාර නිවාඩුව අද දිනෙන් ආරම්භ වන අතර අප්‍රේල් 17 දින නැවත පාසල් විවෘත වේ. මේ වන විට පෙළ පොත් සහ නිළ ඇඳුම් සම්පූර්ණයෙන් පාසල් සිසුන්ට ලබා දී අවසන් කළ යුතු වුවත් මේ දක්වා පාසල් දරුවන්ට ලබාදී නොමැති බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මෙවර පාසල් පෙළ පොත් ලබාදීමේදී අවශ්‍ය සම්පූර්ණ පෙළ පොත් ප්‍රමාණය මුද්‍රණය කර නැති අතර, භාවිතා කළ පෙළ පොත් සිසුන්ට නැවත ලබාදීම සිදු කෙරේ. නිළ ඇඳුම් සඳහා රෙදි චීන රජයේ ආධාර මත අවශ්‍යතාවයෙන් 75% ක් පමණ ලැබුණ ද සම්පූර්ණ නිළ ඇඳුම් අවශ්‍යතාවය ඒ මගින් සම්පූර්ණ වී නැත.

එසේම ජනතාව දැඩි ආර්ථික අපහසුතා මත ජීවත් වන තත්වයක් තිබියදී පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන ද විධිමත්ව ක්‍රියාත්මක නොවේ. තෝරාගත් පාසල් සඳහා ක්‍රියාත්මක වන පෝෂණ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මේ වන විටත් බරපතල ගැටලුවක් බවට පත්ව ඇත.

2023.03.31 දින අධ්‍යාපන අමාත්‍යවරයා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයන් විසින් මෙම කරණු පිළිබඳව අවධාරණය කරන ලදී. ආණ්ඩුව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම ගැන පාරම්බාමින් සිටින අතර, වසර ගණනක් තිස්සේ කඩාවැටී ඇති අධ්‍යාපන සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමු කර නැත. රාජ්‍ය සේවයට පිරිස් බඳවා නොගැනීමෙන් පාසල් පද්ධතිය තුළ ගුරුවරු 30,000 කට වැඩි ගුරු හිඟයක් පවතින අතර, එය පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බරපතල ලෙස බලපා ඇති තත්වයකි.

මේ තත්වය තුළ අප්‍රේල් 17 දින පාසල් නැවත ආරම්භයට පෙර පෙළ පොත් ලබාදීම, නිළ ඇඳුම් ලබාදීම හා පෝෂණ වැඩසටහන විධිමත් කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ට දැඩිව අවධාරණය කර සිටී.