පේරාදෙණිය සරසවියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට එරෙහිව සමිති පෙරට

පේරාදෙණිය සරසවියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට එරෙහිව සමිති පෙරට

(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ CSO ගේ සේවය අත්හිටුවා, ත්‍රිපුද්ගල විමර්ෂණ කමිටුවකින් සාධාරණිය පරීක්ෂණයක් වහා සිදු කරන ලෙස ඉල්ලා සිටිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති බලමණ්ඩලය තම සාමාජිකයින් වෙත බෙදාහරින ලද පත්‍රිකාවකි)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වර්තමාන ප්‍රධාන ආරක්ෂක නිළධාරියාගේ අත්තනෝමතික හා උද්දච්ඡ ක්‍රියා කලාපය, නිල බලය අනිසි ලෙස යොදා ගෙන සේවකයින්ට පහර දීම් සහ බැණ තර්ජනය කිරීම් මගින් විශ්වවිද්‍යාල සේවක ප්‍රජාව පීඩනයට පත් කිරීම, මෙම නිළධාරියා නැවත සේවයේ පිහිට වු දින සිට සුපුරුදු ලෙස කටයුතු කරමින් සිටින බව වෘත්තීය සමිති වෙත දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවති. මෙම කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති ලෙස, CSO සමග අවස්ථා ගණනකදිම සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසදා ගැනීමට අප උත්සහා කළත්, ඒ පිළිබදව සාධනීය ලෙස ඔහුගේ මැදිහත්වීමක් සිදු නොවුන අතර, එම විනය විරෝධි ක්‍රියාවන් කිසිදු බාධාවකින් තොරව ඔහු විසින් වර්තමානයෙත් එලෙසින්ම සිදුකරමින් සිටී.

2014 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ CSO තනතුරට පත් වු මොහු එතැන් සිටම අනිසි ලෙස හා අනීතිකව කටයුතු කළ නිසා, ආචාර්ය මණ්ඩලයෙන්, ඇතැම් අංශ ප්‍රධානින්ගෙන්, ශිෂ්‍ය සංගමයෙන් හා අවට ගම්වාසින්ගෙන් ද චෝදනා හා පැමිණිලි බොහෝමයක් ලැබුණු බව නොරහසකි. එමෙන්ම, අද තත්ත්වය ඊට සමාන වුවක් වේ. මේ අතර, ආරක්ෂක අංශ සේවකයින්ට ද මොහු විසින් කරන බලපෑම් හා හිරිහැර නිසා එදා මෙන්ම අද දවසේදීත් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට අප හට සිදුව තිබේ.

පසුගිය උපාධි ප්‍රධානෝත්සවයේ දී CSO විසින්, එහි සේවය කරමින් සිටි ගැබිණි නිළධාරිනියකට බැන තර්ජනය කිරීම ඇතුලු සිදුවීම් ගණනාවකටම මොහු චෝදනා ලැබ ඇතත්, අද වනතුරුම එම චෝදනා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාළනාධිකාරිය කිසිදු වගවිභාගයකින් තොරව නිද්‍රාශිලිව සිටිම කුතුහලය දනවන කාරණාවක් වී තිබේ. එමෙන්ම, CSO ගේ අනීතික ක්‍රියාවන්ට විරුද්ධව පැමිණිලි කර ඇති, ඔහු යටතේ සේවය කරන ආරක්ෂක නියාමක වරුන්ගේ අතිකාල කප්පාදු කිරීම, අත්හිටුවිම හා ගොතන ලද බොරු චෝදනා ඉදිරිපත් කර මුලික විමර්ෂණ/විනය පරීක්ෂණ පැවැත්විමට කටයුතු කර ඇත. එය ඔහුට එරෙහිවන පැමිණිලි කරුවන්ට CSO විසින් ඍජුවම කරන බලපෑමක් නොවන්නේ ද ?

එමෙන්ම, CSO ට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි සම්බන්ධ පරීක්ෂණ වලට අදාළව සාක්ෂිකරුවන් රැසක් ආරක්ෂක අංශය තුළ සේවය කරන අතර, ඔවුන් තම රාජකාරියේ යෙදෙන අතර තුර සිදුවන සුළු වැරදි උලුප්පා දක්වා එම සාක්ෂි ද ඔහුට පක්ෂව වෙනස් කර ගැනීමට CSO කටයුතු කරමින් සිටින බව සාක්ෂි ද ඇතිව එම අදාළ වන තොරතුරු අප වෙත ලැබි ඇත.

CSOගේ මෙම ක්‍රියා කලාපයන් පිළිබදව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉහළ පාළනාධිකාරිය දැනුවත් කළද, ඒ සම්බන්ධයෙන් එම පාළනාධිකාරිය අනුගමනය කළේ දිගින් දිගටම නිද්‍රාශීලි පිළිවෙතකි. විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ මෙම නිද්‍රාශිලි පිළිවෙත CSO ට ලැබෙන දිරිගැන්වීමක් ද වේ. CSO ට කිසිදු ආකාරයක අභියෝගයක් නොලැබෙන නිසා මෙම අනිතික ක්‍රියා පිළිවෙත් දිනෙන් දින තීව්‍රර වී වර්තමානය වන විට ඒවා උත්සන්න තත්ත්වයට පත්වී ඇත.

මෙම නිළධරයා වෙත එල්ලවී ඇති බොහොමයක් චෝදනා ආරක්ෂක අංශය තුළ සිදුවන අක්‍රමිකතා හා ඔහු යටතේ සේවය කරනු ලබන සේවකයින් විසින් යොමු කර ඇති චෝදනා වේ. ඔහුට එරෙහිව නගන චෝදනා වලට අදාළ සාක්ෂිකරුවන් ආරක්ෂක අංශයේම නිළධාරින් වන නිසාත්, එවන් තත්ත්වයක් තුළ CSO සේවයේ යෙදි සිටියදී, එම නිළධාරියා සම්බන්ධයෙන් විමර්ෂණයක් හා/හෝ පරීක්ෂණයක් සිදු කිරීම සාධාරණව සිදුවේ දැයි යන්න අපට ඇති ප්‍රශ්නාර්ථයකි.

CSO මේ වන විටත් සේවය කරනු ලබන්නේ පරිවාස කාලයකට යටත්වය. විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහය මගින් පරිවාස කාලය තුළ දී ගත හැකි ක්‍රියා මාර්ග පැහැදිලිව සදහන් කර එවාට ප්‍රතිපාදන ලැබි තිබියදිත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වරයාගේ සිට මාකස් ප්‍රනාන්දු ශාලාවේ වැඩ සහායක දක්වා ක්‍රියාත්මක වු නිතිය CSO ට පමණක් වෙනස් වන්නේ කෙසේද යන කාරණාව පේරාදෙණිය විශ්වවිද්‍යාල පාළනාධිකාරියෙන් අපි ප්‍රශ්න කර සිටිමු.

එම නිසා, කිසිවෙකුගේ හෝ බලපෑමකට නතු නොවන පරිදි, විනිවිද භාවය දැකිය හැකි අයුරින් විශ්වවිද්‍යාලයෙන් බාහිරව පත්කරන ත්‍රී පුද්ගල සාමාජික මඩුල්ලකින් යුතු, පැමිණිලි පාර්ශවයට හා අදාල සාක්ෂි කරුවන්ට තම තමන්ගේ ප්‍රකාශ කිසිදු බලපෑමකින් තොරව ලබා දිය හැකි ආකාරයේ වට පිටාවක් නිර්මාණය කිරීම විශ්වවිද්‍යාල විනය බලධාරිවරයාගේ වගකීමක් මෙන්ම වගවීමක් බව ද අපි වැඩි දුරටත් අවධාරණය කර සිටිමු. ඒ අතරම, ඉහත කරුණු සැලකිල්ලට ගෙන CSO ට එරෙහිව එම විමර්ෂණය හා/හෝ පරීක්ෂණය පවත්වන ලෙසත්, එය අවසන්වන තුරු ප්‍රධාන ආරක්ෂක නිළධාරියාගේ සේවය අත්හිටුවා හා/හෝ අනිවාර්ය නිවාඩු ගන්වා මෙම කාර්යය සිදුකිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කර CSO ට විශ්වවිද්‍යාල පරිශ්‍රය තහනම් ප්‍රදේශයක් බව තහවුරු කරන ලෙසත්, ඉහළ පරිපාලනයට අපි බලකර සිටිමු.

ලෝක මානව සමාජයෙහි යමෙක් හෝ යම් කණ්ඩායමක් සමාජයට අනර්ථයක් සිදුකරන විට, එවා නිවැරදි කර ගැනීමට හැකිවුයේ නොඇසු කන් හා නොදුටු ඇසින් කටයුතු කර මිනිසුන් නිසා නොව, එවා දකිමින් හා අසමින් එම අනර්තයන් ඉවත් කිරීම සදහා පෙරට පිවිස පෙළ ගැසුනු මිනිසුන්ගේ ක්‍රියා කාරකම් නිසාය. එබැවින්, අපි මෙලෙසින් දැනුවත් කරනුයේ මෙම යහපත් ක්‍රියා කාරකම් සදහා උපරිමයෙන් සහයෝගය හා දායකත්වය දිම සදහාය. ඉතින්,

  • අපි එක්ව පෙළ ගැසෙමු !
  • එක්ව ඉදිරියට යමු !
  • මෙම අනර්ථකාරි තත්ත්වය නිවැරදි කරන ලෙස ඉහළ පරිපාලනයට අපි බලකර සිටිමු !

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති බලමණ්ඩලය