වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්: 03 තට ස්ථාන මාරු – OICත් වැට උඩ

වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්: 03 තට ස්ථාන මාරු – OICත් වැට උඩ
  • විමර්ශන සීඅයිඩියට

කෝටිපති නිවසේ සිටි මෙහෙකාර කත මියයෑමකෝටිපති ව්‍යාපාරික කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් මෙහෙකාර කාන්තාවක වැලිකඩ පොලිසිය තුළදී අසනීප වී ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අබිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම් කර තවත් නිලධාරීන් තිදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත. මෙහි විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ උප පොලිස් පරීක්‍ෂකවරයකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් කොස්තාපල්වරයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන තවත් පොලිස් කොස්තාපල්වරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු වෙනත් පොලිස් ස්ථානවලට මාරුකර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ද වහාම වෙනත් පොලිස් ස්ථානයකට මාරුකරන ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පොලිස්පතිවරයා විසින් දැනුම් දී ඇත. ඒ අනුව බොහෝ දුරට ස්ථානාධිපතිවරයාට අද

(22 දා) ස්ථානමාරුවක් ලබාදෙනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන කෝටිපති ව්‍යාපාරික කාන්තාවක විසින් ඇයගේ නිවසේ තිබූ රන් භාණ්ඩ නැතිවීමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ල අනුව ආර්. රාජකුමාරි නමැති 42 හැවිරිදි තිදරු මව පසුගිය 11 දා අත්අඩංගුවට ගෙන තිබේ.

එදිනම රාත්‍රි ඇය පොලිස් ස්ථානය තුළදී අසනීප වීම නිසා ජාතික රෝහලට ඇතුළත් කර තිබුණත් ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ නම වැලිකඩ පොලිසියේ රඳවා තබා ගැනීමේ ලේඛනයේ ඇතුළත් කර නොමැති බව වැලිකඩ පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබුණි.

මියගිය කාන්තාවගේ සැමියා විසින් තම බිරිඳගේ මරණය සැක සහිත බවත්, ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙසත් ඉල්ලා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත නීතිඥවරුන් මගින් මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් අවස්ථාවේ පැමිණිලිකාරිය ද පොලිස් ස්ථානයේ සිට ඇති බවට චෝදනා එල්ල වීම නිසා පැමිණිලිකාරයගෙන් ද ප්‍රකාශයක් ගැනීමට නියමිත බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

(දිවයින)