කම්කරු නීතිය අහවරයි - EPF දෑවරයි - තවත් ඉවසුමද ?

කම්කරු නීතිය අහවරයි - EPF දෑවරයි - තවත් ඉවසුමද ?

(පෞද්ගලික සේවක මධ්‍යස්ථානය විසින් බෙදාහරින ලද පත්‍රිකාවකි)

පෞද්ගලික අංශයේ වැඩ කරන අපි රටේ වැඩිම වටිනාකමක් නිපදවන ශ්‍රමිකයන් කොටස. අඩු සේවක වරප්‍රසාද ඇතුළේ අපි බොහෝ වෙහෙස වෙලා වැඩ කරනවා. කොවිඩ් වසංගතයත් ඊට පස්සේ ආපු ආර්ථික අර්බුදයත් නිසා අපේ රැකියා තිබෙන්නේ නිත්‍ය අනතුරක. ලබන වැටුපෙනුත් ජීවත් වීම අභියෝගයක් වෙලා තිබෙන තත්වයක රැකියාව කියන්නේ ඉතුරුවෙලා තිබෙන පණ කෙන්ද. හාම්පුතුන්ගේ පාඩු අවම කරගන්නත් ලාභ පංගුව වැඩි කරගන්නත් රැකියාවලින් සේවකයන් අයින් කරන්න දරන සමහරඋත්සහයන් පරාජය වෙලා තිබෙන්නේ දැනට පවතින යම් තරමකට හෝ ශක්තිමත් කම්කරු නීති නිසා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම මත රනිල්-රාජපක්ෂ ආණ්ඩුවත් සමාගම් හිමි හාම්පුතුනුත් මේ වෙද්දී පවතින කම්කරු නීති අහෝසි කරලා තනි කම්කරු නීතියක් ගෙන එන්න උත්සහ කරනවා. මේ සඳහා ඇති යෝජනා හරහා හාම්පුතාට අවශ්‍ය ඕනෑම වෙලාවක සේවකයන් ඉවත් කිරීමේ බලතල හිමිවෙනවා. සේවයෙන් ඉවත් කිරීමකදී දැනට ක්‍රියාත්මක වන්දි සූත්‍රය අවලංගු කෙරෙනවා. කාන්තාවන් රෑ වැඩ මුරය සඳහා යෙදවීමේදී ආයතනය පැත්තට පණවලා තිබුණු කොන්දේසි ඉවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි පැය 8 වැඩ දිනය අහෝසි කරලා අතිකාල නොගෙවා දවසට පැය 12ක් පමණ වැඩ ගැනීමේ අවස්ථාව සලසා ගන්නවා. මේ තනි කම්කරු නීතියේ සැලසුම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම අයිතීන් පවා අහෝසි කරන මාරාන්තික යෝජනාවක්.

අනික් අතින්, දේශීය ණය කප්පාදු කිරීමේ ආණ්ඩුවේ තීරණය එක්ක අපේ මුදලින් ගොඩනැගුන සේවක අර්ථසාධක අරමුදලට විශාල තර්ජනයක් නිර්මාණය වෙලා තිබෙනවා. ණය ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ කප්පාදු කරන්න අවශ්‍ය වෙන්නේ වැඩි පොළියට ගත් ණය.

මින් බොහොමයක් විදේශ ණය. දේශීය ණය කප්පාදු කළොත් EPF අරමුදලින් අඩු පොළියට ආණ්ඩුවේ බැඳුම්කර වල ආයෝජනය කරලා තිබෙන අපේ මුදල් නැතිවෙනවා. මේක මුලින්ම කරන්න යන්නේ පොළිය නොගෙවා සිටීමෙන් හෝ කප්පාදු කිරීමෙන්. අපේ වැටුපෙන් කොටසක් ඇතුළුව අපට හිමිවිය යුතු මුදල් මේ විදිහට කප්පාදු කිරීමේ උත්සහය වහාම පරාජය කළ යුතු ම යි.

මේ උදාවෙලා තිබෙන්නේ අපිට බර පිට බර පටවලා උන්ගේ අර්බුදය විසඳගන්න සැරසෙන කාලය. මේ ඉදිරියේ තවදුරටත් නිහඬව ඉවසමුද? නැතිනම් සංවිධානය වෙමු ද? ඔබත් එක්ක මේ ගැන කථා කරන්න පෞද්ගලික සේවක මධ්‍යස්ථානය සූදානම්. මේ සමග ඇති ූඍ කේතය හරහා අපි සමග එක්වන්න.

පෞද්ගලික සේවක මධ්‍යස්ථානය

කම්කරු අරගල මධ්‍යස්ථානය