ඇඟලුම් ක්ෂේත්‍රයට මාරක අපලයක්?

ඇඟලුම් ක්ෂේත්‍රයට මාරක අපලයක්?
මෙරට ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගයක් වන ඇඟලුම් අපනයන ආදායම මේ වසරේදී සියයට 24කින් පමණ පහළ වැටිය හැකි බව එම ක්ෂේත්‍රයේ විශ්ලේෂකයින් විසින් දැනටමත් පුරෝකථනයක් කර තිබේ. ලක්ෂ තුනකට අධික පිරිසක් මෙම ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්තව සිටින අතර ඉන් බහුතරය කාන්තාවන් බැව් අමුතුවෙන් කිව යුතු නෙවෙයි.
 
 
2022 වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.95 කි. එහෙත් මෙම අවුරුද්දේ ගෙවුණු මාස හතරේ මෙරට ඇඟලුම් අපනයන ආදායමේ ක්‍රමික පහළයාමක් පෙන්නුම් කර තිබෙන බව වාර්තා වේ. ඒ් අනුව 
ජනවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 397ක්, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 398ක්, මාර්තු මාසයේදී ඩොලර් මිලියන 388ක් වශයෙන් වාර්තා වුණු මෙරට ඇඟලුම් අපනයන ආදායම අප්‍රේල් මාසයේ සටහන් ව තිබුණේ ඒ සියල්ලටම වඩා පහල යාමක් පෙන්වමින් ඩොලර් මිලියන 318ක් ලෙස බැව් නවතම වාර්තා පෙන්වාදෙයි.
 
ඇඟලුම් ක්ෂේත්‍රෙය් විශ්ලේෂකයන් අනුමාන කරන්නේ මේ වසරේ දී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයකින් පමණ, එසේ නැතිනම්  24% කින් පමණ පහළ වැටිය හැකි බවයි. මෙවන් වාතාවරණයක දී දහසකට ආසන්න පිරිසක් සේවයේ නිරත වන මීපේ ප්‍රදේශයේ පිහිටි MRC ඇසෝසියේට්ස් ගාමන්ට් පෞද්ගලික සමාගම හෙවත් හයිඩ්‍රාමනී ආයතනය වසාදැමීමට තීරණය කරන ලදී. ඉන් පසුව ඔවුන් නිවේදනය කරනු ලැබුවේ එහි සේවක සේවිකාවන් තම සමූහයේ වෙනත් ආයතන වෙත අනුයුක්ත කරන බවයි. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟලුම් ඉල්ලුම පහතවැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, එම ඉල්ලුම ඉදිරියේදී යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ  සඳහන් කර තිබුණි.
 
මෙරට ප්‍රධාන ඇඟලුම් ගැනුම්කරුවන් වන අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම එක්සත් රාජධානියද ගෙවුණු මාස හතරේ සිය ආනයන අඩු කර තිබේ.ඇඟලුම් අපනයනකරුවන් පෙන්වා දෙන්නේ විකල්ප වෙළෙඳපොළ වෙත යොමුවීමට තමන් සොයාබලමින් සිටින බවයි.
 
A5- ඇසුරිණි.