රාජ්‍ය නිලධාරීන් මාධ්‍යවලට අදහස් දැක්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කුමක්ද?

රාජ්‍ය නිලධාරීන් මාධ්‍යවලට අදහස් දැක්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කුමක්ද?

ආයතන ප්‍රධානීන්ගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කිරීමට හෝ ජනමාධ්‍ය වෙත තොරතුරු සැපයීමට රාජ්‍ය නිලධාරීන්ට නීතිමය හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරනු ලැබීය.

සූරියවැව ප්‍රදේශයේ දරුවන්ගෙන් සියයට 80 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවට මෑතකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ එම ප්‍රදේශයේ සේවයේ නියුතු රජයේ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව ඔහු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිශ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නිගමනයට එළඹ තිබේ.

බුවනෙක අලුවිහාරේ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

ආන්දෝලනාත්මක අනාවරණයකින් පසු වැඩ තහනම්...

2022 වසරේ සැප්තැම්බර් මස 19 වනදා සූරියවැව ප්‍රදේශයේ වෛද්‍ය සායනයක් පැවැත්වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ දරුවන් ගෙන් 80%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවට වෛද්‍ය චමල් සංජීව කළ ප්‍රකාශයක් ජනමාධ්‍යවල පළ වී තිබූ අතර එය මහත් ආන්දෝලනයකට තුඩු දී තිබුණි.

වෛද්‍ය සායනයට සහභාගි වූ දරුවන් ගෙන් 50% ත් 80% ත් අතර සංඛ්‍යාවක් ඔවුන්ගේ වයසට නියමිත බර නොතිබූ බවත් ඒ තුළින් අදාළ ප්‍රදේශයේ දරුවන් අතර මන්දපෝෂණය ඉහළ ගොස් තිබෙන ආකාරය පෙනී යන බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබුණි.

ඉන් අනතුරුව පදනම් විරහිත ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කර සෞඛ්‍ය බලධාරීන් අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ වෛද්‍යවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළ අතර 2022 වසරේ නොවැම්බර් මස 01 වැනිදා ඔහුගේ වැඩ තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ලිපියක් ද නිකුත් කර තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිය වැඩ තහනම් කර පරීක්ෂණයක් ආරම්භ කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කරන ලෙසත් ඉල්ලමින් වෛද්‍ය චමල් සංජීව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

දීර්ඝ තර්ක විතර්ක..

නඩු විභාගයේ දී පෙත්සම්කාර වෛද්‍යවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබුණේ මෙම ප්‍රකාශ හුදෙක් මහජන යහපත උදෙසා පමණක් කරන ලද්දක් බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය බලධාරීන් අපහසුතාවයට ලක් කිරීමේ චේතනාවක් ඒ තුළ නොවූ බවත් ඔහු සඳහන් කර තිබුණා.

ආයතන සංග්‍රහයේ 30 පරිච්ඡේදය ප්‍රකාරව රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට පෙත්සම්කරුට නීතිමය බාධාවක් නොමැති බවත් පෙත්සම්කාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ තර්ක කළහ.

නඩු විභාගයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට කරුණු දක්වමින් පෙත්සම්කාර වෛද්‍යවරයා සූරියවැව ප්‍රදේශීයේ දරුවන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සායනයක් පවත්වා අදාළ ප්‍රදේශයේ දරුවන් අතර ඉහළ මන්ද පෝෂණයක් පවතින බවට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීම නීතියට පටහැනි බවට තර්ක කළාය.

එවැනි ප්‍රකාශයක් කිරීමට පෙර පෙත්සම්කරු රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් ආයතන ප්‍රධානීන්ගෙන් ඒ සඳහා අනුමැතියක් ලබාගෙන නැති බවත් දරුවන් විසි දෙනෙකු පමණක් සහභාගි කරගත් සායනයක් හරහා සමස්ථ සූරියවැව ප්‍රදේශයේ ම දරුවන් අතර මන්දපෝෂණය පවතින බවට මතයක් පළ කිරීම තුළ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය තර්ක කර සිටියාය.

ඒ අනුව ආයතන සංග්‍රහය යටතේ පෙත්සම්කාර වෛද්‍යවරයාගේ වැඩ තහනම් කොට පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය නීත්‍යනුකුල බව ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියාය.

ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය...

දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය කිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ "ආයතන සංග්‍රහයේ 31: 1: 5 වගන්තිය ප්‍රකාරව රාජ්‍ය නිලධාරියෙකු යම් කරුණක් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර ඒ සඳහා තම දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියාගේ අනුමැතිය ලබාගත යුතුයි. ආයතන සංග්‍රහයේ XLVII පරිච්ඡේදයෙහි 6 වන වගන්තිය යටතේ රජයේ නිල තොරතුරක් මාධ්‍ය හෝ මහජනතාව වෙත නිකුත් කිරීමට පෙර රාජ්‍ය නිලධාරීන් විසින් දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අනුමැතිය ලබාගත යුතුයි. එම පරිච්ඡේදයේ 7 :2 වගන්තියට අනුව කිසිදු රාජ්‍ය නිලධාරියකු සිය ආයතන ප්‍රධානියාගේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව පොතක් පළ කිරීම, ලිපි පල කිරීම, ජනමාධ්‍ය සඳහා ප්‍රකාශ නිකුත් කිරීම සිදු නොකළ යුත්තේ ය" යනුවෙන් සඳහන් කර ඇති බවය.

වැඩිදුරටත් සිය තීන්දු ඔස්සේ කරුණු දක්වා තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය" පෙත්සම්කාර වෛද්‍යවරයා රාජ්‍ය නිලධාරියෙකු බව සඳහන් කළ යුතුයි. ඔහුගේ වැඩ තහනම් කිරීම ආයතන සංග්‍රහය යටතේ සිදු වී තිබෙනවා. ආයතන සංග්‍රහය අනුව රාජ්‍ය නිලධාරියෙකු යම් නිල තොරතුරක් බාහිර පාර්ශ්වයක් වෙත ලබා දීමට පෙර ආයතන ප්‍රධානීන්ගෙන් අනුමැතිය ලබාගත යුතු වුවද පෙත්සම්කාර වෛද්‍යවරයා එසේ කටයුතු නොකළ බව පෙනී ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුගේ රාජකාරි සීමා උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශන සිදුකිරීමට ආයතන සංග්‍රහය යටතේ සෞඛ්‍ය බලධාරීන්ට බලය පැවරී තිබෙනවා. වැඩ තහනම් කළ නිලධාරියෙකුට ආයතන සංග්‍රහය යටතේ යම් යම් නීතිමය රැකවරණ හිමි වී තිබෙනවා. එම රැකවරණය පෙත්සම්කාර වෛද්‍යවරයාට ද ඒ ආකාරයෙන්ම හිමිවෙනවා."ඒ අනුව පෙත්සම්කරුගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගත් තිරණය තුළින් ඔහුගේ මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සනාථ කිරීමට පෙත්සම්කරු අසමත් වී තිබෙනවා"යනුවෙන් ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව ඔහුගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය.

තීන්දුව ඔස්සේ වැඩිදුරටත් කරුණු දක්වා තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු "රාජ්‍ය නිලධාරියා ඉටු කරන්නේ අතිශය වැදගත් මෙන්ම භාරධූර කාර්යයක්. රාජ්‍ය නිලධාරින් තමන්ට පැවරී තිබෙන බලය මහජන යහපත උදෙසා පමණක් ක්‍රියාවේ යෙදවීමට වග බලාගත යුතුයි. වගකීමකින් තොරව හා නොසැලකිලිමත්ව ජනමාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීමට යාමෙන් මහජනතාව අපහසුතාවයට පත්වීමට ඉඩ තිබෙනවා" යනුවෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

(bbc/sinhala)