නිදහස් වෙළඳ කලාප වෘත්තීය සමිති නිලධාරින්ට මරණ තර්ජන

නිදහස් වෙළඳ කලාප වෘත්තීය සමිති නිලධාරින්ට මරණ තර්ජන

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය වෘත්තීය සමිතියේ ප්‍රධාන නිලධාරීන් හට මරණ තර්ජන එල්ල කරමින් එවා ඇති නිර්ණාමික ලිපිය සම්බන්ධව පරික්ෂණ පවත්වන ලෙස ඉල්ලා එම සංගමය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

අප සංගමය, 1982 වසරේ සිට කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංවි සහ රාජ්‍ය ක්ෂේත්‍රයේත්, පෞද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍රයේත් නිල පිළිගැනුමක් ඇතිව නිදහස් වෙළඳ කලාප ඇතුළු පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් සංවිධානය කරන්නාවූත් ඔවුන් නියෝජනය කරන්නාවූත් සංගමයකි. මේ වන විට කටුනායක, බියගම සහ කොග්ගල නිදහස් වෙළඳ කලාපවල සහ අනෙකුත් ප්‍රදේශවල පිහිටා ඇති කර්මාන්ත ශාලාවල සේවක පිරිස් අප සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 144 සම්මුතිය ප්‍රකාර ශ්‍රී ලංකාණ්ඩුව විසින් කම්කරු ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කර ඇති ත්‍රෛපාර්ශවීය ජාතික කම්කරු උපදේශක සභාවෙහි සාමාජික සංගමයක් ලෙස 2009 වසරේ සිට අප සංගමය කටයුතු කර ඇත. එවගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලාංකීය කාර්යාලය විසින් සම්බන්‍ධීකරණය කරනු ලබන “සුනිසි මෙහෙවර” සම්බන්ධ ත්‍රෛපාර්ශවික ජාතික වැඩපිළිවෙළෙහි පාර්ශවකරුවකු ද වේ.

රටම මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ පසුගිය 2022 වසර පුරා විශේෂයෙන් නිදහස් වෙළඳ කලාපවල සහ අපනයන නිෂ්පාදන කර්මාන්තවල සේවක සේවිකාවන් බරපතල දෛනික ප්‍රශ්න වලට ගොදුරුවන්නට වූයෙන් එම ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිතියක් වශයෙන් අප සංගමයට ඔවුන්ගේ ප්‍රශ්න ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමේ වගකීම දරන්නට සිදුවිය. ඒ සමග වූ අප සංගමයේ විවෘත ක්‍රියාකාරීත්වය කම්කරු දෙපාර්තමේන්තුවට වාගේම ඇතැම් හාම්පුතුන්ටත් නොරිස්සුම් දෙන්නට ඇත.

අප සංගමයට පසුගිය වසරේ විවිධ තර්ජනාත්මක තත්ත්වයන්ට මුහුණපාන්නට සිදුවුයේ ඒ නිසාවෙන් යැයි අපි විශ්වාස කරමු. අපගේ කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ, අංක 141 දරණ ස්ථානයේ වසර 30 ක පමණ කාලයක් පුරා පවත්වා ගෙන යන මූලස්ථාන කාර්යාලයේ දොරගුළු කඩමින් රාත්‍රී කාලයේ කාර්යාලයට ඇතුළු වී ලිපි ලේඛන සොයා බැලීමක් 2022 අගොස්තු මස 16 සහ 2022 සැප්තැම්බර් මස 09 යන දෙදිනෙහි සිදුකර තිබූ අතර, ඒ සම්බන්‍ධයෙන් අප සංගමය බොරැල්ල පොලීසියට පැමිණිළි කර ඇත. එම අනවසර ඇතුළුවීම් සම්බන්ධ කාර්යාලයේ සීසීටීවී රූප රාමු ද අපි පොලීසියට ලබා දුනිමු. එහෙත් එකී පැමිණිළි සම්බන්‍ධයෙන් මෙතෙක් ගනු ලැබ ඇති පියවර කිසිවක් පිළිබඳව අප දැනුවත් කිරීමක් කර නැත. එම සිදුවීම් පිළිබඳව අප සංගමය විසින් ඔබට ද පිටපතක් සහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද 2022 සැප්තැම්බර් 17 දින දරණ ලිපියෙන් පැමිණිළි කළ අතර, ඒ අනුව ගෙන ඇති පියවර පිළිබඳව ද අපි කිසිවක් නොදනිමු. එකී ලිපියේ ඡායාගත පිටපතක් ඔබගේ පහසුව සඳහා මේ සමග අමුණා එවන්නෙමු.

එවැනි පසුබිමක කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ ගැටළු පිළිබඳව කටයුතු කිරීමේදී අප සංගමයේ හවුල්කාර සංවිධානයක් වන හබරාදූව, කොග්ගල, ගුඩුමුල්ල, මාගල්තොට පාර, අංක 58 හි පිහිටි ස්ත්‍රී මධ්‍යස්ථානය විසින් පවත්වා ගෙන යන ඔවුන්ගේ කොග්ගල කලාප කාර්යාලය අපි ද පුරුද්දක් වශයෙන් යොදා ගන්නෙමු. ඒ අනුව කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ වසා දමා ඇති ඇඟළුම් කර්මාන්ත ශාලාවල සහ රැකියා අනතුරට පත්ව ඇති සේවක සේවිකන්ගේ හිමිකම් පිළිබඳව ඉහතින් සඳහන් කළ කොග්ගල ස්ත්‍රී මධ්‍යස්ථාන කාර්යාලයෙහි අපි සාකච්ඡා පවත්වන්නෙමු. වත්මනෙහි එවැනි සේවක ගැටළු සම්බන්ධයෙන් අප විශේෂයෙන් මැදිහත්වන වැඩපළ කිහිපයක් වන්නේ කොග්ගල කලාපයේ එස්කුවෙල් ශ්‍රී ලංකා ලිමිටඩ්, ඕරා ඇපරල් එක්ස්පෝට් ප්‍රයිවට් ලිමිටඩ්, ටේ‍රන්ඩ් සෙටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සහ ඉතා මෑතකදීම වසා දමන ලද කොග්ගල ගාමන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්තශාලා වේ.

අප සංගමය මෙසේ විවෘතව යොදා ගන්නා එම කාර්යාල ලිපිනයට ඉකුත් ජුනි මස 12 වන දින නිර්ණාමික ලිපියක් තැපැල් මගින් එවා තිබිණ. එම ලිපියේ ඡායාගත පිටපතක් සහ එම ලිපිය එවා තිබූ කවරයේ ඡායාගත පිටපතක් මේ සමග ඔබගේ අවධානයට යොමු කරන්නෙමු.

එසේ එවා ඇති නිර්ණාමික ලිපියේ ස්වරය වෛරී ස්වරයකි. භාෂාව අශිෂ්ටය. එබැවින් එය කරුණු කාරණා මත කෙරෙන චෝදනා ඉදිරිපත් කිරීමක් නොවන්නකි. එහි ඇත්තේ අප සංගමයට එරෙහි අපහාස හා අවලාද සමූහයකි. එහි ඇති වඩාත් බරපතල ප්‍රකාශය වන්නේ තුවක්කු රැගෙන අපගේ  කාර්යාලයට පැමිණෙන බවට කෙරෙන සඳහනය. එය පැහැදිලි මරණ තර්ජනයක් යැයි අපි කියමු. එහි අප සංගමයේ සම ලේකම් වන මෙහි පහතින් අත්සන් තබන ඇන්ටන් මාකස් වන මගේ නම සඳහන් කර තිබීම එකී තර්ජනය වඩාත් බරපතල වන්නේ යැයි ද අපි සිතන්නෙමු.

මෙම ලිපියේ සඳහන් මරණ තර්ජන අප බරපතල ලෙස සළකන්නේ අද මේ රටේ සිදුවන අපරාධ සැළකිය යුතු සංඛ්‍යාවක් කොන්තරාත් මැර ක්‍රියාවන් යැයි වන පොදු පිළිගැනීම සමගය. එවැනි පසුබිමක ඉදිරියේ දිනෙක යම් කණ්ඩායමක් අපගේ කාර්යාලය වැටලීමත් ඇතැම් විට බලහත්කාරයෙන් කාර්යාලයට ඇතුලුවීමත් සේවක විරෝධයක් ලෙස සංවිධානය කෙරෙන කොන්තරාත්තුවක් විය හැකි යැයි අපි තරයේ විශ්වාස කරමු. එළෙසින් වන මරණ තර්ජන අප සංගමය විසින් කරනු ලබන නීත්‍යානුකූල කටයුතු නැවැත්වීමට හෝ ඒවාට බාධා කිරීමට කිසියම් පිරිසක් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින්නේ යැයි අප අනුමාන කරන්නේ, මෙහි ඉහතින් සඳහන් කළ මීට පෙර සිදු වූ සිදුවීම් ද සැළකිල්ලට ගැනීමෙනි.

ඒ සියලු කාරණා ඇතුළත්ව මෙම පැමිණිල්ල අප සංගමය විසින් ඔබ වෙත කරනු ලබන නිල පැමිණිල්ලක් ලෙස සළකමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.

එළෙසින්ම, මේ සම්බන්‍ධයෙන් ඔබ ගනු ලබන පියවර පිළිබඳව අප සංගමය දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ද කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.