රම්බොඩ වතු කම්කරුවන් පාරම්පරික නිවාස වලින් එළවීමේ සැලසුම්ට විරුද්ධව නැගී සිටියි

රම්බොඩ වතු කම්කරුවන් පාරම්පරික නිවාස වලින් එළවීමේ සැලසුම්ට විරුද්ධව නැගී සිටියි

වසර ගණනාවක් තිස්සේ රටට විදේශිය විනිමය උපයා දෙමින් අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන වතු කම්කරුවන් පිරිසකට ඔවුන් ජීවත් වන වතු නිවාස වලින් පලවා හැරීමට හාම්පුතුන් දරන වැයමට එරෙහිව කදුකරයේ උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

වතු කම්කරු පවුල් රැසකගේ සහභාගිත්වයෙන් සති අන්තයේ නුවර - නුවර එළිය ප්‍රධාන මාර්ගයේ රම්බොඩ දී ඔවුන් මෙම විරෝධතාවය දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

රම්බොඩ, ආර්.පි කොට්ඨාසයේ වතු කම්කරුවන් චෝදනා කරන්නේ 2007 වසරේ සිට තමන්ට හිමි විය යුතු සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල් නොගෙවන හාම්පුතුන්, ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් තමන් අරගලයේ යෙදී සිටින මොහොතක සිය නිවාස වලින්ද ඉවත් වන ලෙස පවුල් ගණනාවක ට බල කර ඇති බවයි.

පාරම්පරික උරුමයෙන් කඳුකරයේ දේශපාලනයේත් වතු සමිතියකත් නායකත්වය උසුලන අමාත්‍යවරයකුගේ සමීපතමයකුට අයත් බවට වාර්තා වී ඇති  රම්බොඩ, ආර්.පි කොට්ඨාසයේ ලයින් පේලි හතක පදිංචි වතු කම්කරු පවුල් 150 ක සාමාජිකයන් 48 දෙනෙක් එම වත්තේ කම්කරුවන් ලෙස සේවය කරති.

ඒ අතරින් පවුල් 39 ට නිවාස වලින් ඉවත් වන ලෙස වතු පාලනාධිකාරිය විසින් දන්වා ඇත්තේ 2023 මැයි මස 16 වැනිදා සිට දැනුම් දීමකින් තොරව කම්කරුවන් සේවයට වාර්තා කර නොමැති වීමේ චෝදනාව එල්ල කරමිනි.

තමන්ට හිමිවිය යුතු සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල් ගෙවන ලෙස ඉල්ලා රම්බොඩ, ආර්.පි කොට්ඨාසයේ වතු කම්කරුවන් 2007 වසරේ සිට මේ දක්වා අවස්ථා දහයකට වැඩි වාර ගනනකදී විරෝධතා දියත් කර තිබේ.

මෑතම විරෝධතාව ඔවුන් විසින් ආරම්භ කර ඇත්තේ පසුගිය මැයි 16 වැනි දිනයි.

එදින සිට අද දක්වා කම්කරුවන් සේවයට වාර්තා නොකර අඛන්ඩ වැඩ වර්ජනයක යෙදී සිටින මොහොතක වතු පාලනාධිකාරිය ජුලි 5 වැනිදා නිකුත් කළ ලිපිය මගින් කම්කරුවන්ට දැනුම් දී තිබුනේ ලිපිය නිකුත් කළ දිනයේ සිට දින 7 ක් ඇතුලත සේවයට වාර්තා නොකරන්නේනම් සේවය හැර ගියා සේ සලකන බවයි.

අලුතින් බදවා ගන්නා කම්කරුවන්ට වාසස්ථාන ලබා දීමට අවශ්‍ය බැවින්, සේවය හැර ගිය කම්කරුවන් භාවිතයට ගන්නා ලැයින් කාමරය දින 15 ක් ඇතුළත නැවත භාර දිය යුතු බවත්, එසේ සිදු නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් අදාළ ලිපියෙහි දක්වා තිබේ.

එම ලිපියේ පිටපත් ලංකා කම්කරු කොංග්‍රස් (CWC) ලේකම් ජීවන් තොණ්ඩමාන් හා දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස් වෙත යොමු කිරීමටත් වතු පාලනාධිකාරිය කටයුතු කර තිබුනි.

කම්කරුවන් පෙන්වා දෙන්නේ තමන් පරම්පරා ගතව එම ලයිම් කාමර තුළ ජීවත් වු බවයි.

1971 අංක 2 දරන වතු නිවාස (විශේෂ විවිවිධාන ) පනතට අනුව අධිකරණයේ අනුමැතියකින් තොරව වතු කම්කරුවකු වතු නිවාසයකින් ඉවත් කිරීමට වතු පාලනාධිකාරියට බලයක් නොමැත.

සැබැඳි පුවත්

1122

122

(the Leader)