කළුතර නාගොඩ රෝහලේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය ගැන GMOA නිවේදනය

කළුතර නාගොඩ රෝහලේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය ගැන GMOA නිවේදනය

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකය පිළිබඳ එල්ල වූ සමාජ මාධ්‍ය චෝදනා සහ එහි සැබෑ පසුබිම පිළිබඳව පදනම් විරහිත ප්‍රචාරයන් මධ්‍යයේ වුවද නාගොඩ ශික්ෂණ රෝහලේ හෘද කැතීටකරන ඒකකය, විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාගේ නායකත්වයෙන් යුතුව මෙරට රෝගී ජනතාවගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටීම අතිශයින් ප්‍රශංසනීය බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ජාත්‍යන්තරය තුළ ඉහළ කීර්තිනාමයක් හිමි කරගෙන ඇති  ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව තුළ රෝගීන් හට විශිෂ්ඨ සත්කාර සේවාවක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ලබාදෙන්නේ විශාල අඩුපාඩු, අපහසුතා සහ අභියෝග රාශියක් මධ්‍යයේ බව නොරහසකි.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකය සහ හෘද කැතීටකරන ඒකකය ගෙවුණු වසර දෙකකට ආසන්න කාලය තුළදී විශිෂ්ට සේවාවක් ලබා දී ඇත්තේද එවන් අභියෝග රාශියක් මධ්‍යයේය.

2021 වර්ෂයේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලද මෙම ඒකකය තුල මේ වන විට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් තුන් දෙනෙකුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සේවය කරති. සමස්ත කාර්ය මණ්ඩලයේ අසීමාන්තික කැප කිරීම් හේතුවෙන් ගෙවුණු වසර දෙකකටත් අඩු කාලය තුලදී පමණක් රෝගීන් 5500 කට අධික පිරිසකගේ ඇන්ජියෝග්‍රෑම් (Angiogram) පරීක්ෂණ සිදුකිරීමට හැකියාව ලැබී ඇත. මේ හරහා නැවත ජීවය ලබාදුන් රෝගී ජීවිත සංඛ්‍යාව දහස් ගණනකි.

පසුගියදා මෙම ඒකකයේ දී ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට ලක් වුණු රෝගියකු සම්බන්ධයෙන් පළ වූ සමාජ මාධ්‍ය වාර්තා හේතුවෙන් දැඩි කතාබහක් නිර්මාණය විය.

පසුගිය ජුනි මස 21වන දා අදාළ රෝගියා ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයට ලක්ව ඊට අදාළ සංයුක්ත තැටිය ද (CD තැටිය) සමඟ එදිනම රෝහලින් පිටව ගොස් ඇත. වෙනත් වෛද්‍යවරයෙකු හමු වූ අවස්ථාවකදී අදාල සංයුක්ත තැටිය ක්‍රියාත්මක නොවීමත්, ඉන් සති දෙකකට පමණ පසු අතිශය කාර්යබහුල දිනයකදී ඒ සම්බන්ධයෙන් විමසීමට ඒකකයට පැමිණි අදාළ රෝගියාගේ දියණියට යම් කාලයක් රැඳී සිටීමට සිදුවීමත් කේන්ද්‍ර කරගනිමින් එම කතිකාවත නිර්මාණය වී තිබිණි.

අදාළ රෝගියාගේ දියණිය මෙම සිදුවීම පාදක කරගනිමින් රෝහලේ සහ විශේෂයෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ කීර්ති නාමයට හානි කර අයුරින් ද්වේශ සහගත ලෙස දිගින් දිගටම සමාජ මාධ්‍ය තුළ හැසිරීම හේතුවෙන්, ඊට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග කරා එළඹීමට ද අවසානයේදී රෝහලට සහ විශේෂඥ වෛද්‍යවරයාට සිදුවිය. එහිදී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රෝහල හෝ විශේෂඥ වෛද්‍යවරයාගේ කිසිදු මැදිහත්වීමක් සිදු වී නැත.

අදාල සංයුක්ත තැටිය ක්‍රියාත්මක නොවීම යම් තාක්ෂණික දෝෂයක් වන බැවින්, එවන් තාක්ෂණික කටයුතු සඳහා කිසිසේත් සම්බන්ධ නොවන එම ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම සිදුකරන ලද ද්වේශ සහගත සහ පදනම් විරහිත සමාජ මාධ්‍ය ප්‍රචාරයන් කිසිසේත් සාධාරණ නොවන බව අපගේ හැඟීමයි.

අදාල ක්‍රියාවලියේදී අතපසුවීමක් සිදුවී ඇත්නම්, රෝහල් පරිපාලනයට පැමිණිලි කර ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ඉල්ලා සිටීමට හැකියාව ඇති බව දැනුවත්ව සිටියදීත්, අදාල පාර්ශව විසින් සිදුකරන ලද පදනම් විරහිත සමාජ මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරයාට, හෘද කැතීටකරන ඒකකයට සහ රෝහලට පමණක් නොව අවසානයේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවටම සිදු කරන ලද හානිය අතිමහත්ය.

සියලු පාර්ශව එක් කරගනිමින් හෘද රෝග විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ මහතා විසින් සිදුකරන අති විශිෂ්ට සේවාව පිළිබඳව ප්‍රදේශයේ පමණක් නොව සමස්ථ රට පුරාම ප්‍රචලිතය. එවන් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉලක්ක කරගනිමින් මෙබඳු පදනම් විරහිත ප්‍රචාර සිදු කිරීම කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයකි.

රට තුළ පවතින අහිතකර වාතාවරණය නිසා වෛද්‍යවරුන් වේගයෙන් රට හැර යන මොහොතකදී, මෙරට පාලකයින් ගේ මෙන්ම ජනතාවගේ ද වගකීම විය යුත්තේ රට තුළ රැඳී සිටීමට තීරණය කර ඇති වෛද්‍යවරුන් ඒ සඳහා දිරිමත් කිරීම ය. එහෙත් මෙබඳු ද්වේශ සහගත සහ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් නිසා ඉච්ඡා භංගත්වයට පත්වීම හේතුවෙන් සිදුවනුයේ තවත් වටිනා වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පත් මෙරටට අහිමි වීම පමණි. එය මෙරට අනාගතයට අතිශයින්ම අහිතකර බව අවිවාදිතය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පාරදෘශ්‍ය සහ අපක්ෂපාතී පරීක්ෂණ සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මේ වන විටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, මෙබඳු සංවේදී මාතෘකා වලදී සියලු පාර්ශව මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බව අපගේ විශ්වාසයයි.

සමාජයට වැදගත් විය හැකි තමන්ගේ පෞද්ගලික අත්දැකීම් සමාජ මාධ්‍ය තුල හුවමාරු කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති වුවද සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වඩා වගකීම් සහගතව කටයුතු කිරීමට මෙම සිද්ධිය හරහා හෝ අප විසින් පාඩම් උගත යුතුය.

සියලු ගැටළු සමාජ මාධ්‍ය තුල විසඳීමේ සංස්කෘතිය වෙනස් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපි තරයේ විශ්වාස කරමු. 

මෙම සියලු අභියෝග සහ පදනම් විරහිත ප්‍රචාරයන් මධ්‍යයේ වුවද නාගොඩ ශික්ෂණ රෝහලේ හෘද කැතීටකරන ඒකකය, විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාගේ නායකත්වයෙන් යුතුව මෙරට රෝගී ජනතාවගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටීම අතිශයින් ප්‍රශංසනීය ය.