තරිඳුට අමානුෂික පහරදීම ගැන වහාම පරික්ෂණයක් ඕනෑ - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

තරිඳුට අමානුෂික පහරදීම ගැන වහාම පරික්ෂණයක් ඕනෑ - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන සිදුකර ඇති අමානුශික පහර දීම ගැන වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව සංවිධානය කර තිබූ විරෝධතාවයක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ශ්‍රී ලංකා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම මෙන්ම ඔහුට අමානුශික ආකාරයට පහර දීම කිසිඳු ලෙසකින් හෝ අනුමත කල නොහැකි අයුක්තිසහගත ක්‍රියාවකි. ඒ මඟින් පැහැදිළිවම ප්‍රදර්ශනය කර ඇත්තේ අදහස් පළකිරීමේ අයිතියට රටේ ඇතැම් පාර්ශවයන් දක්වන නිගරුවයි.

ජනතාවගේ අදහස් පළකිරීමේ අයිතියට තර්ජනය කරමින් හා සිය බලය අත්තනෝමතික ලෙස යොදාගනිමින් මාධ්‍යවේදියෙකුට සිදුකර ඇති මෙම අමානුශික පහරදීම පිළිබඳව රටේ වගකිවයුතු පාර්ශව නොපමාවම අවධානය යොමු කල යුතු ය. එමෙන්ම ඊට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නීත්‍යානුකූල ලෙස පියවර ගත යුතුව ඇති බව ද  අපගේ ස්ථාවරයයි.

මෙවැනි සිදුවීම් අප රට තුළ සිදු නොවන ආකාරයට අවශ්‍ය මගපෙන්වීම් රටේ ප්‍රමුඛ ආයතන මගින් සිදුකර තිබියදීත්, අදාළ පාර්ශව ඒවා නොතකා හැර තිබීම කණගාටුදායකය. විශේෂයෙන්ම මහජන විරෝධතා හමුවේ කටයුතු කල යුතුව ඇති ආකාරය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලීසියට පැහැදිලි මාර්ගෝපදේශ ලබා දී තිබියදීත් මෙවැනි තත්වයන් ඇතිවීම පිළිබඳව පොලිස්පතිවරයා සිය අවධානය යොමුකල යුතුව තිබේ.

ඒ අනුව අප ඉතාමත් ඔනෑකමකින් යුතුව වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සිදුවීම ගැන නොපමාවම පරීක්ෂණයක් සිදුකරන ලෙසය. එමෙන්ම මෙවැනි සිදුවීම් නැවැත සිදු නොවන ආකාරයට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.

සබැඳි පුවත්