සා.පෙළ. පිළිතුරු පරික්ෂාවේ ඇගයීමට බාධා

සා.පෙළ. පිළිතුරු පරික්ෂාවේ ඇගයීමට බාධා

අපොස සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් ගමන් වියදම් දීමනාවක් ලබා නොදීමෙන් ඇගයීම් කටයුතුවලට බාධා සිදුවන බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පැවති අ.පො.ස. (සාමාන්‍ය පෙළ විභාගයේ) පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවක දී සිදුවෙමින් තිබේ. එහෙත් පිළිතුරු පත් පරීක්ෂාව වෙනුවෙන් පොරොන්දු වූ පරිදි රු.2000/- ගමන් වියදම් දීමනාවක් ලබාදීම වෙනුවට රු.1450/- මුදලක් පමණක් ලබාදීමට කටයුතු සිදුවීම තුළ දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවක ඇගයීම් කටයුතුවලට මේ වන විට බාධා සිදු වී ඇත. පසුගිය දා පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතුවල ගමන් වියදම් දීමනාව ලෙස රු.2000/- මුදලක් ලබාදීමට කටයුතු කළ ද සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයීම වෙනුවෙන් එම මුදල ලබා නොදීම හේතුවෙන් පිළිතුරු පත් ඇගයීම් කටයුතුවල යෙදෙන ගුරුවරු ඒ සඳහා විරෝධය පළ කරමින් සිටී.

උසස් පෙළ ඇගයීම් කටයුතු සිදුකළ දිනවල පැවති ගමන් වියදම් මේ වන විට  කිසිසේත් අඩු වී නොමැති අතර, සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු වල නිරත වන ගුරුවරුන්ට ද එම ගමන් වියදම් ම දැරීමට සිදු වේ. මේ තත්වය තුළ ඇගයීම් කටයුතුවල නිරත වන ගුරුවරු රු.2000/- ගමන් වියදම් දීමනා ලබානොදීමට විරෝධය දැක්වීම මේ වන විට සිදුවෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය කළ මැදිහත්වීමේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කර සිටියේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර රු.2000/- දීමනාව ලබාදීමට කටයුතු කරන බවයි. එසේම 2023.08.18 දින සිට 2023.08.28 දින දක්වා අඛණ්ඩව මෙම ඇගයීම් කටයුතු පැවැත්වෙන අතර, 28 දින පාසල් ආරම්භ වීමට නියමිතව ඇත. මේ තත්වය තුළ ඇගයීම් කටයුතුවල නිරත වන මෙම ගුරුවරු දැඩි මානසික වෙහෙසකට ලක්වන අතර, 28 වන දා සිට ඔවුන් නැවත පාසල් වෙත ගොස් රාජකාරි කළ යුතුය. මේ තත්වය තුළ ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ගේ මානසික සහනය වෙනුවෙන් ඔවුන්ට විශේෂ නිවාඩුවක් ලබාදෙන ලෙස ද ලංකා ගුරු සංගමය ඉල්ලා සිටින ලදී.

ගුරුවරු 30,000 ක පමණ පිරිසක් ඇගයීම් කටයුතුවල නිරත වන අතර, මෙම ඇගයීම් කටයුතු සිදු වන්නේ 2022 වසරේ පැවැත්විය යුතුව තිබූ සාමාන්‍ය පෙළ විභාගයේය. විභාග ප්‍රමාදවීම තුළ සිසුන් පීඩාවට පත්ව ඇති අතර, තවදුරටත් ඇගයීම් කටයුතුවලට මේ ආකාරයෙන් බාධා වීමෙන් ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද විය හැකිය. මේ තත්වයන් පිළිබඳව අවධානය යොමු කර මෙම ගැටලු විසඳා කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට ආණ්ඩුව ප්‍රමුඛතාවය දිය යුතුය.

අමාත්‍යවරයා සඳහන් කළ පරිදි කඩිනමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇගයීම් කටයුතුවල දෙවන අදියර ආරම්භ වීමට පෙර මෙම දීමනා ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. එසේ නොවුණහොත් ඇගයීම් කටයුතුවල ව්‍යාකූල තත්වයක් ඇතිවිය හැකි බව ද වැඩිදුරටත් පෙන්වා දෙමු.