ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉන්දුනීසියානු සමාජ ආරක්ෂණ පද්ධතිය අධ්‍යයනය කරයි

ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉන්දුනීසියානු සමාජ ආරක්ෂණ පද්ධතිය අධ්‍යයනය කරයි

නව කම්කරු නීති ප්‍රතිංස්කරණයත් සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විරැකියා රක්ෂණය, මාතෘ ප්‍රතිලාභ, සේවා ස්ථානවල සෞඛ්‍ය ආරක්ෂා කිරීම වැනි යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා මේ වන විට ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ පද්ධතිය පිළිබද ගැඹුරු අධ්‍යනයක් කිරීම සදහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් ඉන්දුනීසියාවේ සිව් දින නිල සංචාරයක නිරතව සිටී.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහාය ඇතිව මෙම අධ්‍යයනය සංවිධානය කර ඇති අතර ජපන් රජයද ඒ සදහා දායකත්වය ලබාදෙයි.

ඉන්දුනීසියාවේ මේ වන විට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ පද්ධතිය පිළිබද මෙහිදී දීර්ඝ අධ්‍යයනයක් සිදු කිරීමට අපේක්ෂිත අතර එය ලංකාවේ සන්ධර්භයට අනුගත කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය

කම්කරු නීති ප්‍රතිංස්කරණය කිරීම සම්බන්ධයෙන් වන මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයන්හිදී විරැකියා රක්ෂණයක් හදුන්වාදීම, මාතෘ ප්‍රතිලාභ, සේවා ස්ථානවල සෞඛ්‍ය ආරක්ෂා කිරීම වැනි යෝජනා ඉදිරිපත් විය. ඒ අනුව ලංකාවට ගැලපෙන සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා දැනට ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේදය පිළිබද අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ඉල්ලීම් කර තිබු අතර ඒ අනුව මෙම සංචාරය සංවිධානය කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත කණ්ඩායමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා, වෘත්තීය සමිති නියෝජිතයින්, හාම්පුත්න්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළත් වෙයි.

මෙම නියෝජිත කණ්ඩායම ඉන්දුනීසියාවේ සමාජ ආරක්ෂණ ක්‍රමවේදය වන BPJS Ketenagakerjaan හි සභාපති සහ අධ්‍යක්ෂ Anggoro Eko Cahyo මහතා ද හමුවී සාකච්ඡා කළේය. එහි මහජන දිනය වෙතද ගිය නියෝජිතයින් කණ්ඩායම අධ්‍යක්ෂවරුන් විවිධ ස්ථානවලදී සාමාජිකයින්ට හා ප්‍රතිලාභීන්ට සහාය ලබාදෙන ආකාරය ගැනද අධ්‍යයනය කරනු ලැබීය.

BPJS Ketenagakerjaan යනු පුළුල් සමාජ ආරක්ෂණ වැඩසටහන් මාලාවක් සඳහා වගකිව යුතු සමාජ ආරක්ෂණ ඒජන්සියක් බවට පරිවර්තනය කරන ලද පොදු නීතිමය ආයතනයකි. මෙම වැඩසටහන් වලට රැකියාවලදී සෞඛ්‍ය ආරක්ෂණය, වැඩිහිටි ආරක්ෂාව, විරැකියා ආරක්ෂාව සහ විශ්‍රාම වැටුප් ආරක්ෂාව ඇතුළත් වේ.

මෙම සහයෝගිතා සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, ශ්‍රම හා සමාජ ආරක්ෂණය පිළිබඳ දැනුම සහ හොඳම භාවිතයන් බෙදාහදා ගැනීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර තිබේ.